Saindamarudu Gazette

සයින්මරුදු කතාවට පෙරවදනක්

අජිත් පැරකුම් ජයසිංහ

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා 1956දී බලයටපැමිණියේ සිංහල ජාතිවාදයේ පිහිටෙන්. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ඔහුගේ මූලික සටන් පාඨයක්. එහෙත්, බටහිර අධ්‍යාපනය ලද, ඉංග්‍රීසිය මව්බස වූ, සිංහල භාෂාව කියැවීමට නොදත් බණ්ඩාරනායක අවංක ජාතිවාදියකු වූයේ නැත. ජනප්‍රිය ජාතිවාදය බලය වෙනුවෙන් භාවිතා කළත්, දෙමළ භාෂාවට සාධාරණය ඉටු කිරීමේ හා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් දෙමළ ඉල්ලීමට විසඳුමක් දී රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව බණ්ඩාරනායක ඉතා නිවැරදිව හඳුනාගත්තේ ය.

ඔහු 1957දී රට සභා යෝජනාවලිය ගෙන ආවේ බලය බෙදාගැනීමේ අරමුණෙනි. ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් එස්.ජේ.වී. චෙල්වනායගම් නායකත්වය දුන් ෆෙඩරල් පක්ෂය සමග අත්සන් කිරීමට තරම් ඔහු එඩිතර විය. එහෙත්, ඔහු කෙතරම් ජනප්‍රිය නායකයෙකු වුවත්, සිංහල ජාතිවාදය ඔහු යටපත් කරගෙන හිස එසවූ ආකාරය අනුව, ගිවිසුම අත්සන් කර මාස දෙකකින් එය ප්‍රසිද්ධියේ ඉරා දමන්නට ඔහුට සිදු විය.

Translations

උතුරු නැගෙනහිර පළාත්වල රජයේ කටයුතු දෙමළ භාෂාවෙන්ද සිදු කිරීම සඳහා විධිවිධාන ඇතුළත් 1958 දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනත ගෙන ආ මුත් එම නීතිය බලාත්මක කිරීම තව බොහෝ කලක් ප්‍රමාද විය.

වසර 1959දී අගමැති බණ්ඩාරනායක ඝාතනය සිදු කළේ ද සිංහල බෞද්ධ ජාතිවාදී, ආගම්වාදී අන්තවාදීන් පිරිසක් විසිනි.

මෑත ඉතිහාසයේදී ආන්තික සිංහල ජාතිවාදය වාහනය කරගනිමින් රාජ්‍ය බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද බොහෝ පැතිකඩවලින් බණ්ඩාරනායකට සමාන ය. ඔහු ද බණ්ඩාරනායක මෙන් අවංක ජාතිවාදියකු නොවේ. බටහිර සමාජයක ජීවත් වී අත්දැකීම් ලැබූ, ටයි කෝට් අඳින කළු සුද්දෙකි. ඔහුගේ දේශපාලන භාවිතාව තුළින් ප්‍රකට වන දැක්මෙහි ප්‍රමුඛ ලක්ෂණය වන්නේ සිංහල ජාතිවාදය හෝ බෞද්ධ ආගම්වාදය නොවේ. වඩා ප්‍රමුඛ බටහිර මාදිලියේ සංවර්ධන චින්තනයයි. මූලික වශයෙන් ඔහු බටහිර මාදිලියේ වේගවත් සංවර්ධනයක් තුළින් රටේ ප්‍රශ්න විසඳීම ඉලක්ක කරගත් අයෙකු වේ. ඔහුගේ සමීපතම අනුගාමික ප්‍රජාව ද එවැනි ය. ඔවුන් ද සිංහල බෞද්ධ අධිපතිවාදී වන මුත්, අන්තවාදීන් නොවේ.

වත්මන් ආණ්ඩුව ශක්තිමත් කරන බලවේගය වනාහි සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදයේ හා බටහිර සංවර්ධනවාදයේ සම්මිශ්‍රණයක් ලෙස සැලකිය හැකි ය. මෙම බලවේග අතර තුලනය නිර්මාණය වන්නේ බරපතල ගැටුමක් තුළ ය. එය යම් දුරකට මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සංකේතාත්මක චරිත දෙකෙන් නිරූපණය වේ. මෙම ගැටුම බොහෝ අය විසින් පවුල අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ යයි වරදවා වටහාගෙන තිබේ. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ සමග අභ්‍යන්තර ගැටුමක් ඇති වීමට තරම් මහින්ද රාජපක්ෂ ද අවංක ජාතිවාදියකු නොවේ. එහෙත් ඔහු සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදයට යටත් වීමට සූදානම් අයෙකි.

Translations by Creative Content Consultants

මහින්ද රාජපක්ෂගේ සීමාව ද එයයි. එක පැත්තකින් ජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන බටහිර මාදිලියේ වේගවත් සංවර්ධන ක්‍රියාවලියක් රටට ලබාදීමට ඔහු අසමත් වූයේ එබැවිනි. ආයෝජකයන් ආකර්ශනය කරගැනීමට, දේශීය ආයෝජකයින් දිරිගැන්වෙන තත්වයක් නිර්මාණය කිරීමට හා පූර්ණ ශ්‍රම ඵලදායකත්වයක් ලබාගැනීමට හැකි වන පරිදි රට තුළ ආර්ථික හා සමාජ සාමයක් ඇති කිරීමට ඔහු අසමත් විය. විශේෂයෙන් ම සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් අඛණ්ඩව සාමය කඩකිරීමේ වැඩ පිළිවෙලක් පවත්වාගෙන ගිය අතර, සුළුතර ජාතීන්ගේ විපත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්, යුරෝපය හා ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල සංවේදීභාවයක් නිර්මාණය විය. එය ජාත්‍යන්තර වශයෙන් රාජපක්ෂ රජයට අවාසිදායක විය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරියට පැමිණීම වේගවත් සංවර්ධන අවශ්‍යතාවක ද ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. අවශ්‍ය ආර්ථික හා සමාජ සාමය පවත්වා ගනිමින් වේගවත් සංවර්ධනයක් දෙසට රට යොමු කරගැනීම ඔහුගෙන් බලාපොරොත්තු වේ. ඒ සඳහා එක පැත්තකින් ඔහු කල් ඉකුත් වී තිබෙන ප්‍රශ්න ඉක්මණින් විසඳිය යුතු ය. අනෙක් පැත්තෙන් දැඩි විනයක් සහිත පාලනයක් ද පවත්වාගෙන යා යුතු ය.

සයින්දමරුදු නගර සභාව පිළිබඳ කතාව අප කියවිය යුත්තේ මෙම සංදර්භය තුළ ය.

(මීළඟ ලිපිය: සයින්දමරුදු හා බණ්ඩාරනායක ඝාතනය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *