godayamu

ස්පාටකස් හා ගොඩයමු සංවාදයෙන් පසු

අජිත් පැරකුම් ජයසිංහ

‘ස්පාටකස්’ කණ්ඩායම සහ ‘ගොඩයමු’ කණ්ඩායම අතර දෙසැම්බර් 7දා සූම් මගින් පැවැත්වුණු දීර්ඝ, ප්‍රසිද්ධ දේශපාලන සංවාදය අවසාන වශයෙන් ගත්තාම ඵලදායී එකක් ලෙසයි එහි ‘ගොඩයමු’ පැත්තෙන් සංවාදයට සහභාගී වූ කෙනෙකු ලෙස මම දකින්නෙ.

ස්පාටකස් කණ්ඩායම ගැන මහින්ද පතිරණ කියූ කාරණාවට මාත් එකඟයි. ස්පාටකස්ලා කරන්නේ අධිපති මතවාද ප්‍රශ්න කිරීම. විසඳුම් යෝජනා කිරීමක් නැති බවයි කියන්නෙ.

ඒ වුණාට ඒ ප්‍රශ්න කිරීම දයලෙක්තික නැහැ. එයට හේතුව, ඔවුන් ප්‍රශ්න කරන්නෙ ඔවුන්ගේ අප්‍රකාශිත සම්මුතියකට සාපේක්ෂව. ඔවුන්ගේ සදා නිමකළ ලෝක දැක්මක් හිස් මුදුනෙ තියාගෙන තමයි අනෙක් අදහස් ප්‍රශ්න කරන්නෙ. තමන්ගෙ අදහස් පද්ධතිය ප්‍රශ්න කරන්න දෙයක් නැහැ, ඒක සත්‍යය කියල හිතාගෙන ඉන්නෙ.

ඒ සම්මුතිය ඇතුළෙ විසඳුම් යෝජනාත් වියුක්තව තිබෙනවා. උදාහරණයක් විදියට ස්පාටකස් කණ්ඩායමේ මාධව රුවන්පතිරණ කියනවා “හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කළ යුතුයි” කියලා. ඒක කවදාවත් නොවෙන දෙයක්. කවුද මේ හැමෝම කියන්නෙ? කොහොමද හැමෝම එකතු වෙලා විසඳුමක් යෝජනා කරන්නෙ? ප්‍රායෝගිකව මෙය කරන්න බැහැ.

එතනදි තමයි බල දේශපාලනය අදාළ වෙන්නෙ. ඉතිහාසයේ රාජ්‍ය බලය සලකුණු වෙන්නෙ බලය එක්ක. තවත් සංයුක්තව ගත්තොත් අවි බලය එක්ක. රාජත්වය හරි ඡන්දය හරි කැරැලිකාරිත්වය හරි මත පදනම් වෙලා සන්නද්ධ හමුදා මෙහෙයවාගන්න පුළුවන් අය බලය ලබාගන්නවා. ඒක තමයි බල දේශපාලනයේ මූලික ලක්ෂණය.

මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක්. ඒත්, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය ඉතා කෙටියි. ලෝක පරිමාණෙන් ගත්තොත් අවුරුදු සීයකට වඩා අඩුයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බල දේශපාලනයෙ අනිවාර්ය සාධකයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙනවා. බල දේශපාලනය කොහොමත් තියෙනවා. බල අරගල නැතිවෙන්නට නම්, බයිබලයේ පාරාදීසය හෝ මාක්ස්වාදී ඓතිහාසික භෞතිකවාදයේ කොමියුනිස්ට් සමාජය වැනි තත්වයක් (පරිකල්පනයක්) යථාර්ථය වෙන්න ඕනැ.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ හොඳ ප්‍රමිතියක්. ඒ පරමාදර්ශී ප්‍රමිතියට අනුව අපට පාලනය සන්සන්දනය කරන්නට පුළුවන්. ඒක හොඳ මිනුම් දණ්ඩක්. පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් තියෙනවා නම්, එය ඒකක 100 නම් අපි එයට සාපේක්ෂව කීයද? බ්‍රිතාන්‍යය වගේ රටක් අනිවාර්යයෙන්ම අපට වඩා ඉදිරියෙන් ඇති. අපි සෝමාලියාවට, ඇෆ්ගනිස්තානයට හා සමහරවිට චීනයට වඩා ඉදිරියෙන් ඇති.

වඩා වැදගත් වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයද බල දේශපාලනයද කියල ඇහුවොත්, අපි කැමතියි ප්‍රජාතන්ත්‍රවාදය වඩා වැදගත් යයි සිතන්න. හැබැයි, ප්‍රායෝගික තත්වයන් තුළ වඩා වැදගත් වෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි බල දේශපාලනය. ලංකාව වගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල නිසා බල දේශපාලනය ඉතා ප්‍රබලයි.

ස්පාටකස් සමග සංවාදයට නැවත යොමුවෙමු. ගොඩයමු කණ්ඩායම ගැන මං හිතන්නෙ අපි ඉන්නෙ බල දේශපාලනයෙ කියලායි. අපට ප්‍රජාතන්ත්‍රවාදයත් අදාළයි. හැබැයි පරමාදර්ශී ප්‍රමිතියක් විදියට. අපි කියන්නෙ අපි සමාජය වෙනස් කරන්න යෝජනා ඉදිරිපත් කරනකොට අපට බල දේශපාලනයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි දෙකම අදාළයි. ඔය වෙනස්කම් කරන්න ආණ්ඩුවට ජනවරමක් නැහැය කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ කොඩිය ඔසවන අය කරන්නෙත් බල දේශපාලනයම තමයි.

සියල්ල ප්‍රශ්න කරනවාය කියන ගමන් තමන්ගේ ස්ථාවරය ප්‍රශ්න කරන්නට සූදානම් නැති, අනෙක් අයගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පමණක් සූදානම් බව පෙනෙන ස්පාටකස් කණ්ඩායමට අපි කියන්නෙ අපට ඔයගොල්ලන්ව හමුවෙන්නෙත් බල දේශපාලනය ඇතුළෙම බවයි.

වෙනස්කම් වෙනුවෙන් මැදිහත් වෙනවා කියන්නෙ රාජ්‍ය බලයට කරන මැදිහත්වීමක්. ‘ගොඩයමු’ විදියට හරි ‘අයි හෑව් අ ඩ්‍රීම්’ විදියට හරි අපි යෝජනා කරන විසඳුම් සදා නිමකළ ඒවා නෙමෙයි. ඒවා මේ මොහොතට සාපේක්ෂව උත්සාහයන්. වරදින්නට පුළුවන්, ඒ විසඳුම් කියන්නෙ සංවාදයක මේ මොහොත. ඒ ගැන එන විවේචන භාර නොගෙන ඉන්න තරම් අපට හේතුවක් නැහැ. ඒ විවේචන වැරදියි, අපි හරි කියලා අපි මරාගෙන මැරෙන්න ඉදිරිපත් නොවෙන්නෙ ඒ නිසායි.

ඒ උත්සාහයන් ඔස්සේ විසඳුම් යෝජනා නිවැරදි කරගන්නටත් පුළුවන්, නැවත නැවතත් වරදින්නටත් පුළුවන් ක්‍රියාවලියක් තමයි එතන තියෙන්නෙ. පිටින් ඉඳන් විවේචනය කිරීම වෙනුවට අපි විසඳුම සමග සම්බන්ධ වෙනවා. පෙරහැර බලා ඉන්නවා වෙනුවට අපිත් පෙරහැරේ නටනවා. ඔව්, නැට්ටුවෝ නැටුවට පෙරහැර කරන්නෙ නිලමෙලා බව අපි දන්නවා. හැබැයි, නිලමෙලා හිටිය පළියට පෙරහැර නැහැ. නැට්ටුවොත් ඉන්නම වෙනවා.

(ස්පාටකස් කණ්ඩායමට පුළුවන් මෙයට පිළිතුරක් ලියන්න. සංවාදය පැවැත්වුණෙත් බල දේශපාලනික න්‍යාය පත්‍රයකටනෙ. දිනය, වෙලාව, ආකාරය ‘ස්පාටකස්ලා’ තීරණය කරලා සංවාදයට එන්නැයි ‘ගොඩයමු’ කණ්ඩායමට කිව්වා. මේ ලිපිය පළකරන තැනත් තීරණය වෙන්නෙ බල දේශපාලනය අනුව. පිළිතුරු ලිවීම ඔබට භාරයි.)

2022-12-11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයේ පළවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *