සාරිය හා මානව හිමිකම්
අජිත් පැරකුම් ජයසිංහ
පාසල් ගුරුවරිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගීත දෙකකම සාරිය ගැන දැක්වේ. සුනිල් සාන්තයන්ගේ මහිකත නළවාලා ගීයේ දැක්වෙන හෙළ සාරිය ඔසරිය විය යුතුය. “සුදු හෙළ සාරිය ඇඳලා හැඩ කොටැ ඉඟ වට රැළි ලෙළවා” යි එහි පදයක් ඇත. ප්‍රසිද්ධ ළමා ගීයක ඇත්තේ “ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා – පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා” යනුවෙනි. ඒ අනුව ගුරුවරිය අඳින්නේ සාරිය යයි ඒකාකෘතික අදහසක් සමාජයේ තිබේ.
ගුරුවරියන් පිරිසකගේ නායකත්වයෙන් සමාජ මාධ්‍ය හරහා ආරම්භ වූ ‘සාරියේ සාපය අවසන් කරමු’ යන ක්‍රියාමාලාව සමග ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට පාසලට සුදුසු වෙනත් ඇඳුමක් ඇඳීමත් සමගම මහත් ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. ඇතැම් පාසල්වල එසේ වෙනත් ඇඳුමකින් පාසලට පැමිණි ගුරුවරියන්ට මව්පියන් විසින් හිරිහැර කළ බව මාධ්‍යවලින් වාර්තා විය. ලංකා ගුරු සංගමය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධ අර්බුදය ද අරගලය හා ආණ්ඩුව අතර සටනක් මෙන් පෙනෙන අන්දමින් සමාජයේ බෙදීමක් දක්නට ලැබේ. එහෙත්, අරගලයට හෝ 2021 වසරේ ගුරු වැටුප් විෂමතා ඉවත් කරගැනීමේ අරගලයට මෙන් සහයෝගයක් සාරියේ ‘සාපය’ අවසන් කිරීමේ සටනට ගුරුවරියන් අතරින්වත් ලැබෙන්නේ නැත.
අවසානයේදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ විසින් නොවැම්බර් 30දා 26/2022 යන අංකය යටතේ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එමගින් 1989-12-01 දිනැති 8/89 චක්‍රලේඛය රජයේ සේවකයන්ට අදාළ කරමින් අනෙකුත් සියලු චක්‍රලේඛ අවලංගු කර තිබේ. එමගින් නිර්මාණය වී තිබෙන්නේ වඩාත් අවුල් සහගත තත්වයකි. ගුරුවරියන්ගේ ඇඳුම පිළිබඳ අදහසක් එමගින් ගම්‍ය වන්නේ නැත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 13/2019 චක්‍රලේඛය අනුව රජයේ සේවකයන් රාජකාරි කිරීමේදී ඇඳිය යුතු ඇඳුම් නිර්දේශ කර තිබේ. ඒ අනුව පිරිමි නිලධාරීන් කමිස-කලිසම් හෝ ජාතික ඇඳුම ද, ගැහැණු නිලධාරීන් සාරිය හෝ ඔසරිය ද ඇඳිය යුතු ය.එම චක්‍රලේඛය අනුව, මුස්ලිම් කාන්තාවන්ට හිජාබය වැනි මුහුණ ආවරණය නොවන අරාබි ඇඳුම් පවා තහනම් ය. ඔවුන් ද සාරි ඔසරි ඇඳිය යුතු අතර හිස යම් ආකාරයකින් වසාගැනීමට හැකි ය. බුර්කාව තහනම් කිරීම හා මේ අන්දමින් හිජාබ් වැනි ඇඳුම් පවා තහනම් කිරීම මානව හිමිකම් ප්‍රශ්නයකට තුඩුදෙයි. එම චක්‍රලේඛය අවලංගු කිරීම හා නැවත 8/89 චක්‍රලේඛය බලාත්මක කිරීම ඇත්තෙන්ම වඩා ලිබරල් පියවරකි.
රජයේ කාර්යාලවල දැනටමත් වැඩිදෙනෙකු අඳින්නේ කලිසම්-කමිස හා සාරි ය. එහි කිසියම් අප්‍රකාශිත ඩ්‍රෙස් කෝඩයක් හෙවත් ඇඳුම් අඳින පිළිවෙලක් ඇත. එහෙත්, 13/2019 චක්‍රලේඛය අනුව සියලු දෙනාට එසේ සාරි පටලවාගෙන වැඩ කරන්නට බැරි ය. විශේෂයෙන් ම කම්කරු කාන්තාවන්ට සාරි අඳින්නැයි කීම විකාරයකි. සියලු කම්කරු කාන්තාවන්ට නිල ඇඳුම් ලබාදෙන්නේ ද නැත.
ඩ්‍රෙස් කෝඩ් හෙවත් ඇඳුම් අඳින පිළිවෙල සංස්කෘතික, වෘත්තීය මෙන්ම සම්ප්‍රදායික කාරණා මත පදනම් වේ. ඒ සම්බන්ධ රීති ද තිබේ. රීතියක් යනු ක්‍රියා පටිපාටියක් සම්බන්ධ කාරණයකි. එම රීතිවලට සාමාන්‍යයෙන් වෘත්තිකයන් අභියෝග කරන්නේ නැත. උදාහරණයක් ලෙස, නීතීඥවරුන් අධිකරණයට අඳින ඇඳුම නිල ඇඳුමක් නොවේ. අඩු තරමේ නීතීඥවරුන් බහුතරය රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවකයන් ද නොවේ. එහෙත්, ඔවුන් තම ඇඳුම් අඳින පිළිවෙලට අභියෝග කරන්නේ නැත. ඇඳුම හා මානව හිමිකම් අතර සම්බන්ධය සියුම් එකකි.
2001 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු භික්ෂු මන්ත්‍රීවරයා ලෙස බද්දේගම සමිත හිමියන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු පාර්ලිමේන්තුවේ ඩ්‍රෙස් කෝඩය සම්බන්ධ රීති වෙනස් කිරීමට සිදුවිය. එයට හේතු වූයේ සිවුර එතෙක් කල් එම ඩ්‍රෙස් කෝඩයට ඇතුළත් වී නොතිබීමයි.
ශ්‍රී ලංකාවේ වින්නඹු සේවිකාවන් අතීතයේදී නිල ඇඳුම ලෙස ඇන්දේ සාරියකි. දැන් ඔවුන් පවුල් සෞඛ්‍ය නිලධාරීන් ය. පසු කලෙක ඔවුන් ගවුමට මාරු වූ අතර, මෑත කාලයේ සිට අඳින්නේ කලිසමක් හා හැට්ටයකි. යහපාලන රජය විසින් පාසල් ගුරුවරියන්ට ගර්භණී සමයේදී ඇඳීමට පහසු ගවුමක් හඳුන්වා දෙන ලදී. එහෙත්, ලංකාවේ ගර්භණී ගුරුවරියන් එය අඳින්නේ නැතිව සාරි හිරකරගෙන ම තවමත් පාසල් යති.
මේ වන විට සාරි ඇතුළු සියලු ඇඳුම් පැළඳුම්වල මිල විශාල වශයෙන් ඉහළගොස් තිබීම කෙරෙහි සංවේදී වීමට රජයට අනිවාර්යයෙන් සිදුවේ. උද්ධමනය හමුවේ රාජ්‍ය සේවක මූර්ත වැටුප 50%කට වඩා අඩුවී තිබේ. මිනිසුන් ඇඳුම් අඳින පිළිවෙල මෙම සංදර්භය තුළ යළි සැකසෙන බව අමුතුවෙන් කිවයුතු නැත.
රජයේ සේවකයන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් රජයට මැදිහත් වීමට හැක්කේ යම් සීමාවක් තුළය. නිල ඇඳුම් කාර්ය මණ්ඩලවලට රජය ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදෙයි. එහෙත්, නිල ඇඳුම් නැති කාර්ය මණ්ඩල තමන්ගේ ඇඳුම සම්පාදනය කරගත යුතුය. ඒ සඳහා යන වියදම මෙතෙක් කල් ගැටලුවක් වූයේ නැත. එහෙත්, දැන් එය ගැටලුවකි. ඒ අනුව, සාරි ප්‍රශ්නය ආර්ථික අර්බුදයේම රැඩිකල් ප්‍රකාශනයක් ලෙස ද සැලකිය හැකිය.
පාසල් ගුරුවරියන් සාරි ඇඳිය යුතුද යන ප්‍රශ්නයෙහි වෙනත් තලයක් තිබේ. එනම්, සාරිය ඉගැන්වීමේ කටයුතුවලදී පහසු ඇඳුමක්ද යන ප්‍රශ්නයයි. ඒ පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ යහපත් සංවාදයක් සිදුවිය යුතුය. විරෝධතා ඔස්සේ එම සංවාදය ඉදිරියට ගෙනයා නොහැකිය. එමගින් සිදුවන්නේ බෙදීමකි. ඒ වෙනුවට සංවාදය මත පදනම් වූ උද්දේශන ක්‍රියාකාරීත්වයකට ගුරුවරුන්/ ගුරුවරියන් යොමුවිය යුතුය.