JVP-US

බිත්තරේ කතාව: ජවිපෙ ආර්ථික ජාතිකවාදය හා ගෝලීය නිෂ්පාදන හා අලෙවි දාම සමග වැඩ කිරීම

අජිත් පැරකුම් ජයසිංහ

අනුර කුමාරගේ බිත්තරේ කතාවට සබැඳිය මෙතනින්: https://www.facebook.com/watch/?v=788055578978700

ජවිපෙ මූලික ගැටලුව ආර්ථික ජාතිකවාදයයි. මේක 1970 දශකයේදි අත්හදා බලලා අසාර්ථක වෙච්ච එකක්. අවුරුදු 50කට පස්සෙ ලෝකය තවත් ගෝලීයකරණය වෙලා, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළඳපොළ දැන් තියෙන්නෙ ගෝලීය දාම ඇතුළෙ.

මේ කියන ප්‍රශ්නයට විසඳුම සරලයි. ඉන්දියාවේ බිත්තර මිල අඩු නම්, අපි බිත්තර දාන්න ගොඩක් තටමන්නට ඕනැ නැහැ. ඉන්දියාවෙන් නියාමනයක් සහිතව සෞඛ්‍යාරක්ෂිතව බිත්තර ආනයනය කරන එකයි කරන්නට ඕනැ. දේශීය කුකුළු කර්මාන්තයත් රැකගන්නට අවශ්‍යයි. හේතුව, ඒකෙන් ජීවත් වන පිරිසක් ඉන්නවා. ඒ වගේම, ගෝලීය තත්වයන් නිසා ඇතිවෙන කම්පනයන් පාලනය කරගන්නටත් ඕනැ.

අනුර කියන්නෙ ලංකාවෙ බඩඉරිඟු වවලා, සෝයා වවලා, ගොවීන්ට සහනාධාර දීලා ලංකාවෙම බිත්තරේ දාගෙන කෑ යුතුයි කියලයි. හොඳයි, අපි අපේ තිබෙන ඉඩම්වල බඩඉරිඟුයි, සෝයායි වවනවා කියමුකො. එතකොට අනෙක් බෝග ජාති වවන්නෙ කොහෙද? තව ඉඩම් අස්වද්දනවාය කියමුකො. වතුර කෝ? වැව් හදන්නට ඕනැ. වාරිමාර්ග හදන්නට ඕනැ. ඒවට ප්‍රාග්ධනය ඕනැ. රජයේ බදු ආදායමෙන් 50%ක් තවමත් යන්නෙ රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න. බදුත් අඩු කරලා මේ ප්‍රාග්ධනය හොයන්නෙ කොහොමද? ණය ගන්නවා. ජවිපෙ ණය ගන්නෙ කොහොමද කියන එක සුනිල් හඳුන්නෙත්ති පහුගිය දවස්වල කිව්වා. ණය දෙන ආයතන කැමති නම් දෙයි.

මාලිමා ඩයස්පෝරාවට ඩොලර් 500 ගානෙ වැඩිපුර එවන්න කියලා හරි කොහොම හරි කරගත්තාය කියමුකො. වගාවට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි. දැනට නම් අපි ඒවා ආනයනය කරනවා. ජවිපෙ ඒවා මේ රටේ හදනවද? ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. ලංකාවෙ හදන ට්‍රැක්ටරයක්, වතුර පොම්පයක් කීයක් විතර වෙයිද? ඒවට අමුද්‍රව්‍ය ගේන්නෙ කොහෙන්ද? ඉන්ධන ආනයනය කරන්නෙ කොහෙන්ද? ඉන්දියාවෙ ගොඩක් රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතා කරනවා. ඒවාත් ලංකාවෙ හදනවාද?

ජවිපෙ යෝජනා කරන මේ ආර්ථික මූලෝපාය යම් ආර්ථික ජාතිකවාදයක් ලෙස විග්‍රහ කරන්නට පුළුවන්. එය සම්පූර්ණයෙන්ම සියලු දේ ලංකාවේ නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුයි කියන අන්තවාදී දැක්මක් යයි මා සිතන්නේ නැහැ. එහෙත්, එය ගෝලීය නිෂ්පාදන හා අලෙවි දාමවල යථාර්ථය ප්‍රතික්ෂේප කරන ෆැන්ටසියක් බව නම් පැහැදිලියි.

මෙය උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, හරියට මේ වගේ. අපි සියලු දේ මේ රටේම නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කරනවා. පුළුවන් තරම් ආනයන අධෛර්යවත් කරනවා. හැකි හැම දේම අපනයනය කරනවා. අපනයන පුළුවන් තරම් දිරිමත් කරනවා.

මේක මූලධාර්මිකවම ජාතිකවාදීයි. ඒ නිසා අපට අනුව මෙය වැරදියි. හේතුව, ගෝලීය නිෂ්පාදන හා අලෙවි දාම පදනම් වන්නේ නිදහස් වෙළඳාම මතයි.

මාලිමාව/ජවිපෙ හා අප වෙනස් වන මූලික සාධකය මෙයයි. අප සිතන පරිදි, ගෝලීය නිෂ්පාදන හා අලෙවි දාම සමග ඔය විදියට වැඩකරන්නට බැහැ. එහිදී ජාතිකවාදයෙන් ඔබ්බට පුළුල්ව සිතන එක අනිවාර්ය අවශ්‍යතාවක්.

මාලිමා/ජවිපෙ ආර්ථික පර්යේෂාගාරයේ හාවුන්, මීයන් වෙනවාද, නැද්ද කියන එක අනාගතේ ජනතාව තීරණය කරයි. අපි මෙහිදී ඉතා පැහැදිලිව ජවිපෙ මතවාදයට එරෙහිව වැඩ කරනවා. ජනතාව දැනුවත් කරනවා. ලංකාව ඉන්නෙ මෙවැනි පර්යේෂණ කළ හැකි ආර්ථික තත්වයක නෙමෙයි. දැනට කරගෙන යන සියුම් කළමනාකරණය විධිමත් කිරීම තමයි අප දකින කළ යුතු දේ.