Mahinda Rajapaksa - 2005

2005 ජනාධිපතිවරණය නැවත කියවීමක්

අජිත් පැරකුම් ජයසිංහ

ලංකා ඉතිහාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණ අතරින් දේශපාලනික වශයෙන් වැදගත් ම ජනාධිපතිවරණය වුණේ 2005 නොවැම්බර් 17දා පැවැත්වුණු පස්වෙනි ජනාධිපතිවරණයයි. එයට තරග කළේ එවකට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා තවත් අයයි.

Translations

ඒ වන විට 2004 අප්‍රේල් මස මහ මැතිවරණය පවත්වා අවුරුදු එකහමාරක් පමණ ගත වී තිබිණි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සන්ධානගතව එක්සත් ජනතා නිදහස් සන්ධානය නිර්මාණය කරනු ලැබුවේ එම පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගනිමිනි. එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 105ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 82ක් ද දිනාගෙන තිබිණි. ජවිපෙ විසින් දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිරිපත් කරන ලද සියලු අපේක්ෂකයන් වැඩි ම මනාපයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට ලැබුණු ආසනවලින් එකක් ශ්‍රීලනිපයට පරිත්‍යාග කරන්නට ඔවුහු තීරණය කළ හ. ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ගණන 40ක් නොවී 39ක් වුණේ එබැවිනි.

2003දී ගංගොඩවිල සෝම හිමි රුසියාවේ විශ්වවිද්‍යාලයකින් පිරිනමන ලද සම්මාන ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගොස් සිටියදී, එහි අධික සීතල හා දියවැඩියාව ඇතුළු සංකුලතා නිසා අපවත් විය. මෙය ක්‍රිස්තියානි කුමන්ත්‍රණයකින් අපවත් කිරීමක් බව කියා දැවැන්ත උද්ඝෝෂණයක් නිර්මාණය කළ චම්පික රණවක සිහල උරුම දහං ගැටයක් ගසමින් මෙම මැතිවරණයේදී පක්ෂය සංඝයා වෙත පූජා කළ බව කියමින්, ජාතික හෙළ උරුමය නමින් භික්ෂූන් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කරන ලදී. මේ වන විට, අධි සංවේදී බණ දේශනා කිරීමේ දේශපාලන බණ රැල්ලක් රටේ පැතිර තිබුණි. ඒ ඔස්සේ ඉදිරියට ආ ඊනියා විචිත්‍ර ධර්ම කථික භික්ෂූන් හත්නමක් මෙම ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තුවට වැඩම කළ හ.

පාර්ලිමේන්තුවේ කතානායක තේරීමේ ඡන්දයේ පටන් ම අවුල් නිර්මාණය වූ අතර එජාප මන්ත්‍රී විජමු ලොකුබණ්ඩාර කතානායක ඡන්දය ජයග්‍රහණය කළේ මන්ත්‍රී භික්ෂූන් රෝහල්ගත වන තරම් ගෝරියක් මැද ය. මර්වින් සිල්වා විසින් වෘෂණ කෝෂ මිරිකීම නිසා දැඩි සේ ගිලන් වූ කොළොන්නාවේ සුමංගල හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා ම අස් වී පන්සලට වැඩම කළ හ.

එසේ වුණ ද, 2005 වන විට ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් දක්නට ලැබුණේ රනිල් වික්‍රමසිංහ තුළ ය. එයට ප්‍රධාන හේතුවක් වූයේ එජනිසට ශක්තිමත් ජනාධිපති අපේක්ෂකයකු නැති වීමයි. සිය ධුර කාලය දීර්ඝ කරගැනීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක දරණ ලද උත්සාහය අසාර්ථක විය. ඇය මහින්ද රාජපක්ෂට කැමැත්තක් නොදැක්වූ අතර ඔහු ඉදිරිපත් කළ ද ඔහු පරාජය වනු ඇතැයි අපේක්ෂා කළා ය.

මේ වන විට සාම ක්‍රියාවලිය කඩාකප්පල් වෙමින් තිබිණි. සටන් විරාමය අතරතුරදී ම කොටි සංවිධානය විසින් 2004 ජුලි මාසයේදී ඇමති ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට උත්සාහ කරන ලද අතර, ස්නයිපර් තුවක්කුකරුවකු යොදවා ලක්ෂ්මන් 2005 අගෝස්තු 12දා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කරන ලදී. රජය ද සටන් විරාමය ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨානශීලී වූයේ නැත. 2004 දෙසැම්බරයේ සිදු වූ සුනාමි ආපදාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවධානය වැඩිපුර යොමු වී තිබුණේ පශ්චාත් සුනාමි පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කෙරෙහි ය. සාම ක්‍රියාවලිය කඩාකප්පල් වී රට නැවත යුද්ධයට ඇදී යාම පමා වෙමින් තිබුණු හේතුව එය විය.

Translations by Creative Content Consultants

2005 ජනාධිපතිවරණය එළඹෙන්නේ මෙම වකවානුවේ ය. මේ වන විට සිංහල ජාතිවාදයේ අසු පිට නැග සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. දෙමළ ජාතිවාදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයත්, ජවිපෙත් අතර නොනිල අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිණි. දෙපාර්ශ්වයේ ආන්තික ක්‍රියා දෙපාර්ශ්වයට ම බෙහෙවින් ප්‍රයෝජනවත් විය. නිදසුනක් ලෙස, රජය හා ජාත්‍යන්තර බලවේග සුනාමියෙන් පසු ලබාදෙන සංවර්ධන ආධාර කළමනාකරණය කිරීම සඳහා කොටි සංවිධානය ද ඇතුළත් පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය යෝජනා කළ අවස්ථාවේ කොටි සංවිධානය එයට ඇතුළු වීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ යුදමය ක්‍රියාමාර්ග ඔස්සේ තවත් වටයකින් ඉදිරියට යාමට ය. සාම ක්‍රියාවලිය තුළ සිරවීමෙන් තමන්ට සිදුවන්නේ හානියක් බව ඔවුන්ගේ විග්‍රහය විය. මෙම අවස්ථාවේදී ජවිපෙ දඹර අමිල හිමියන් යොදවා කරන ලද මාරාන්තික උපවාසයත් සමග පශ්චාත් සුනාමි මෙහෙයුම් යාන්ත්‍රණය හෙවත් P-TOMs අවසන් විය.

2005 ජනාධිපතිවරණයේදී ද මෙම දෙපාර්ශ්වය ම තත්වය විග්‍රහ කරගත්තේ සමාන ආකාරයටයි. රනිල් වික්‍රමසිංහ යනු ඒ වන විට ලෝක වෙළඳ සංවිධානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය හා ජපානය මුල්වෙමින් ලංකාවට යෝජනා කර තිබුණු ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ නමින් හැඳින්වුණ නව ලිබරල් ආර්ථික වැඩසටහනේ නියමුවා විය. බටහිර සහයෝගය ලද ශක්තිමත් ලිබරල් පාලකයකු වූ ඔහුට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ දුර්වල, රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එතරම් අත්දැකීම් නැති, ජාතිවාදය හා ගැමිකම ප්‍රවර්ධනය කළ, එතරම් නිශ්චිත දේශපාලන දර්ශනයක් නොතිබුණු දුර්වල පාලකයකු විය.

ජවිපෙ හා කොටි සංවිධානය දුර්වලයා තෝරාගත් හ. ජවිපෙ සිතුවේ ලංකාවේ ධනේශ්වර රාජ්‍යය දුර්වල වීම හා බෙදුම්වාදී යුද්ධය මැද ජවිපෙට විප්ලවීය මාවතක් එළිපෙහෙළි කරගත හැකි වනු ඇතැයි කියා ය. කොටි සංවිධානය සිතුවේ දුර්වල පාලකයකු සමග ගැටී පහසුවෙන් ඊලාම් රාජ්‍යය දිනාගන්නට ය.

ජවිපෙ මහින්ද රාජපක්ෂගේ දුර්වල ජනාධිපතිවරණ ව්‍යාපාරය තම කරට ගත්තේ ය. කොටි සංවිධානය සිය බලය පාවිච්චි කරමින් උතුරේ ඡන්ද වර්ජනයක් දියත් කළ අතර ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂගෙන් මුදල් ද ලබාගත්තේ ය. උතුරු පළාතේ ඡන්දය ප්‍රකාශ කිරීම 2% දක්වා අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ වැඩිඡන්ද 180,000කින් පමණ ජයග්‍රහණය කළේ ය. රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂයක පමණ ප්‍රමාණය මැතිවරණ වර්ජනය නොවිණි නම් පහසුවෙන් උතුරෙන් ලබාගත හැකිව තිබිණි.

මෙම මැතිවරණය වන විට මා ඇතුළු කණ්ඩායමක් හිරු කණ්ඩායමෙන් වෙන්ව, කොළඹ දෙමළ කණ්ඩායමක් සමග එක්ව ලංකා ලෙෆ්ට් නම් වෙබ් අඩවියක් පාදක කරගෙන වැඩ කරමින් සිටියෙමු. අපත්, ඒ වන විට එක්ස් කණ්ඩායමෙන් ඉවත්ව සිටි නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු පිරිසේ ඇතැම් අයත් එකතුව නොවැම්බර් ව්‍යාපාරය ගොඩනංවන ලද්දේ ද මෙසමයේ මය. කෙසේ වෙතත්, නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මහින්ද රාජපක්ෂට සහාය පළ කළ හ.

අපි එදා ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩි කැමැත්තක් දැක්වූයෙමු. එහෙත්, ඒ වන විට ලෝක මට්ටමෙන් ම පසුබසිමින් තිබුණු ලෝක වෙළඳ සංවිධානයේ නව ලිබරල් වැඩසටහන වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ තවදුරටත් පෙනී සිටින්නේ ය යන සැකය අපට තිබිණි. එම නිසා අප එම ජනාධිපතිවරණයේදී උදව් කළේ වාමාංශික අපේක්ෂකයන්ට ය. ලංකා ලෙෆ්ට් වෙබ් අඩවියේ අනුග්‍රහයෙන් කොළඹ මහජන පුස්තකාල ශාලාවේදී වාමාංශික අපේක්ෂකයන් තිදෙනාගේ පොදු සංවාදයක් අපි සංවිධානය කළෙමු. එම මැතිවරණයේ වාම අපේක්ෂකයන් වූයේ චමිල් ජයනෙත්ති (නව සමසමාජ පක්ෂය), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය) හා විජේ ඩයස් (සමාජවාදී සමානතා පක්ෂය) යන අයයි. වාමාංශිකයන් මෙම සම්මන්ත්‍රණයේදී පවා කුළල් කාගත් අතර ජනාධිපතිවරණයේදී ඉලක්කම් පහක ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වූයේ සිරිතුංග ජයසූරියට පමණි.

උගුරට හොරා බෙහෙත් කමින් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනු ඇතැයි බලා සිටි අපට උණ ගැනුණේ කොටි සංවිධානයේ ඡන්ද වර්ජනය නිසා ය. එය සිදු නොවනු ඇතැයි වාමාංශිකයෝ අවසන් මොහොතේත් බලාපොරොත්තු වූ හ. එහෙත්, කිසිවකුට එය වැළැක්වීමේ උවමනාවක් හෝ තිබුණේ නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත් වී පවුලේ පිරිස ළංකර ගත්තේ ය. ඒ වන විට, ගැමුණු නම් සිංහල ජාතිවාදී සංඥාර්ථ සහිත නම පටබැඳගෙන සිටි දෙමළ ජාතිකයකු වූ කුමාර් ගුනරත්නම් ජවිපෙ අභ්‍යන්තරයේ අති ප්‍රබල පුද්ගලයකු විය. ඒ වන විට සිංහල ජාතිවාදය පාවිච්චි කරමින් ඉදිරියට පැමිණ තිබුණු ජවිපෙ තුළ වාම අන්තවාදී ප්‍රවණතාව නියෝජනය කළ කුමාර් ගුනරත්නම්ගේ බලපෑම නිසා සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, විමල් වීරවංශ වැනි අයට පවා ජවිපෙ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට සම්බන්ධ විය යුතු ය යන මතය හකුළාගැනීමට සිදු විය. අවසානයේදී ජවිපෙ කිසිදු සාධාරණ හේතුවක් නොදක්වමින් තමන් විසින් බලයට පත් කරන ලද මහින්ද රාජපක්ගේ ආණ්ඩුවට සහයෝගය දුන්නේ නැත. මහින්ද ඇමතිකම් භාරගෙන ආණ්ඩුවට සහාය දෙන්නැයි ජවිපෙට පුන පුනා ආයාචනා කළ ද ජවිපෙ එය නොතකා හැරියේ ය. ජවිපෙ වෙනුවට එතැනට ආදේශ වුණේ පාර්ලිමේන්තු ආසන හතක් හිමිව සිටි අන්ත ජාතිවාදී ජාතික හෙළ උරුමයයි. නිශ්චිත මතයක් නොමැතිව, ලිබරල්වාදයත්, ගැමි පසුගාමිත්වයත් අතර දෝලනය වෙමින් සිටි මහින්ද රාජපක්ෂට ජාතිවාදය රස වැටෙන්නට පටන් ගත්තේ ඒ සමග ය. ලාභ හා බාල ජාතිවාදයේ ජනප්‍රියත්වයත්, යුදවාදයත්, ඒ ඔස්සේ ලබාගත් යුද ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ සියලු ජාතිවාදී පසුගාමී අගතීන් රාජ්‍යය තුළට ගෙන ආවේ ය. හතර කේන්දරේ පාළු වීම හා දුප්පත්කම නිසා සසුනට භාර දුන් අනාථයන් පමණක් නොව හොර වෙදුන්, කට්ටඩියන් ආදීන් පවා රටේ රජවන යුගයක් පහළ වූ අතර අධ්‍යාපනය, ජනමාධ්‍ය, ජනමත නායකත්වය ආදී සෑම තලයකින් ම මුග්ධකම ප්‍රවර්ධනය කිරීම කූටප්‍රාප්තියට පැමිණියේ ය. ඊනියා දේශප්‍රේමිත්වයේ සරුව පිත්තල දවටනයෙන් ඕනෑ ම අසූචි ගොඩක් ඔතා අලෙවි කළ හැකි ලංකාවකට අප සම්ප්‍රාප්ත වූයේ එසේ ය.

2015 ජනවාරි 8 මෘදු විප්ලවයට හෝ එකී ජාතිවාදය ආපසු හරවන්නට බැරි විය. මේ සියල්ලට මුල් වූ ජවිපෙන් ජාතිවාදී පලුවක් ද, සමාජවාදී පලුවක් ද ගැලවී ගොස් ජවිපෙ අන්ත අසරණ අඩියකට වැටිණි. 2019 වන විට තවත් නන්නත්තාර ඊනියා බුද්ධිමතුන් කුලකයකට සුදු සළුවලින් සැරසී ජවිපෙ පිට නැගී තව රවුමක් යන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා ය.

2005දී අප සිදු කළ වරද ඉන් පසු අප නම් නැවත කළේ නැත. එක ම වරද නැවත නැවත කරන අය කවදාවත් තමන් කරන ලද වැරදි සම්බන්ධයෙන් වගකියා නැත.

ඉතිහාසයේ ඇතැම් වැරදි වැළැක්විය නොහැකි ය. එහෙත්, අඩු තරමේ ඔබට එයට දායක නොවී සිටිය හැකි ය.

(කවරයේ ඡායාරූපය: මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 18දා අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද සිල්වා ඉදිරියේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් ආකාරය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *