greedy

2019ට පෙර පැවති පාරිභෝජනවාදයට ආපසු යන්නට හැකිද?

අජිත් පැරකුම් ජයසිංහ

මේ මොහොත වන විට ලංකාවේ දිගු ඉන්ධන පෝලිම්ය. දවස තුන් යාමයක් නම් එක් යාමයක පමණ විදුලි කප්පාදුවකි. නිවාස හදනවිට වායුසමනය සඳහාම කාමර තනාගත් අය ඉන්පසු විදුලිය ලබාගැනීම සඳහා විදුලි ජනක යන්ත්‍ර මිලදීගත්හ. දැන් ඒවාට ඉන්ධන ද හිඟය.

අපේ ජීවිතය බලශක්ති සමග කෙතරම් ප්ලග් වී තිබේද යත්, ඉන්ධන හා විදුලිය නොමැති ජීවිතයක් ගැන අපට සිතාගන්නටවත් බැරිය. වඩා මෑත කාලයේදී අප ප්ලග් වූ සන්නිවේදන ලෝකය ද ලැප්ටොප්, ජංගම දුරකථන බැටරි බැසයාමත් සමග අඩාල වී යයි.

බලශක්ති අර්බුදය ආර්ථික අර්බුදය තවත් තීව්‍ර කරනු ඇත. ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට දරණ උත්සාහයන් ව්‍යර්ථ වෙමින් අප තව තවත් අගාධයට වැටී එහි සිරවන්නේ මොරොක්කෝවේ ගැඹුරු නළ ළිඳක සිරවන ළමයකු පරිද්දෙනි. අප වැටෙන වලේ ගැඹුර අප දන්නේ නැත. එහෙත් එහි පතුල බොහෝ ගැඹුරු බව අප තේරුම්ගත යුතුය. ලංකාවේ සමාජයේ ඉහළ සිට පහළ දක්වා වැඩිදෙනෙකුට මෙය තේරෙන්නේ නැත. නැතිනම්, තේරුම්ගන්නට උවමනාවක් නැත. 2019 වසරේ පැවති ජීවිතයට අපට ආපසු යන්නට හැකිවෙතැයි අපි සිතන්නෙමු. වසංගතය අවසන් වී හෝ සාමාන්‍යකරණය වී හෝ මුඛ ආවරණ ගැලවෙනු ඇත. එහෙත්, අපට පැරණි සිනාව නැවත නොලැබෙනු ඇත. ඕනෑනම් සිනාව අලුතින් නිර්මාණය කරගැනීමට බැරිකමක් නැත.

2019 දක්වා අපගේ ජීවිත ගොඩනැගුණු ප්‍රධාන කුලුනු වූයේ විදේශ ණය හා රාජ්‍ය ණයයි. රජය අපට රැකියා, විශ්‍රාම වැටුප්, වරප්‍රසාද, දීමනා, ප්‍රදාන, සහනාධාර, කොන්ත්‍රාත්, බදු සහන හා ඉහළ සිට පහළ දක්වාම තම තම පමණින් නෙළාගත හැකි දූෂණ කඳක් නිර්මාණය කරදෙයි. ඒ සඳහා ආදායම් උපදවාගන්නේ ව්‍යවසායකයන්, වැඩකරන ජනතාව ඇතුළු සමස්ත සමාජයෙන්ම බදු අයකිරීමෙනි. කෙසේ වෙතත්, රජයේ ආදායම රජය නඩත්තු කිරීමටවත් ප්‍රමාණවත් නැත. ඒ නිසා දෙශීය හා විදේශීය වශයෙන් ණය ලබාගනියි. රටට කරනු ලබන ආනයන වෙනුවෙන් යන වියදම පියවාගැනීම සඳහා අපනයනවලින් ලබන ආදායම ප්‍රමාණවත් නැත. මේ පරතරය පියවාගැනීම සඳහා ද විදේශවලින් ලබාගන්නා ණය ඉවහල් විය. රටක් විදේශ ණය ලබාගත යුත්තේ එම ණය ආපසු ගෙවිය හැකි ලෙස ආදායම් නිර්මාණය කිරීම සඳහාය. අපේ රටේ එහෙම වුණේ නැත. හම්බන්තොට පැත්තේ කළ ෆැන්ටසික සංවර්ධන ව්‍යාපෘති ආදිය වෙනුවෙන් අපි රටක් ලෙස ණය වුණෙමු. ඒ ණය ගෙවීම සඳහා ඊට වඩා විශාල ණය ගත්තෙමු. එසේම, අප ද හැකි පමණින් දූෂණයට හා නාස්තියට දායක වී තිබේ. දැන් තවදුරටත් එය පවත්වාගන්නට බැරිය. ණය ගෙවන්නට ණය ගැනීම දුෂ්කර වී තිබේ. අප සිටින්නේ බංකොලොත්භාවයේ මුවවිටයි.

පසුගිය සමයේ අපේ සමාජය තුළ නිර්මාණය වූ පාරිභෝජනවාදී සංස්කෘතියේ ආර්ථික පදනම එයයි. පදනම බිඳවැටී තිබියදී ඒ මත පැවති සංස්කෘතික උපරි ව්‍යූහය තවදුරටත් පවත්වාගත නොහැකි වනු ඇති බව අප තේරුම්ගත යුතුව තිබේ. වෙනදා මෙන් පොත් ලියා දොරට වඩවන්නට, චිත්‍රපට හා නාට්‍ය හදන්නට, මඟුල් හා අවමඟුල් වැනි උත්සව පවත්වන්නට, ඒවා සමග සම්බන්ධව අලුතින් එකතුවන විවිධ දේ අපගේ අවශ්‍යතා බවට පත්කරගන්නට, ඉස්සර මෙන් හැම නිවාඩුවකට දේශීය හා විදේශීය සංචාර යන්නට, හොඳ හෝටල්වලින් කන්නට බොන්නට, ජපන් වාහන මාරු කරන්නට, ජංගම දුරකථන අලුත් කරන්නට, බ්‍රෑන්ඩඩ් විලාසිතාවන් අනුගමනය කරන්නට තබා ඒ වෙනුවෙන් මුදල් වෙන්කරන්නට පවා දැන් පහසු නැත. අලුතින් නිර්මාණය කරගන්නා ලද සංස්කෘතික අවශ්‍යතා සමග බැඳුණු කර්මාන්ත රැසක් ද ඒ සමග අර්බුදයට පත්වේ. උදාහරණයක් ලෙස, උත්සව සංවිධායකයන්, ඒ හා සම්බන්ධ හෝටල්, කැමරාකරුවන්, ආහාර සපයන්නන්, නැටුම් කණ්ඩායම්, ටීෂර්ට් හා කැප් ආදිය සපයන්නන් වැනි අයට දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවනු ඇත.

මා කීමට උත්සාහ ගන්නේ අපගේ පාරිභෝජනවාදී ජීවිතයේ පූර්ණ පරිවර්තනයක් සිදුකරගනිමින් බුද්ධිමත් පරිභෝජනයකට යොමුවීම අපට අත්‍යවශ්‍ය වනු ඇති බවයි.

ධනවාදයේ මූලික ම නරකක් වන්නේ පාරිභෝජනවාදයයි. සරලව කිවහොත් පාරිභෝජනවාදය යනු පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කිරීම වැනි දෙයකි. ජීවිතයේ මූලික අරමුණ පරිභෝජනය ලෙස සැලකීමකි. පරිභෝජනයේ හා පාරිභෝජනවාදයේ වෙනස හඳුනා ගැනීම තරමක් සංකීර්ණය. මිනිසාට හොඳින් ජීවත් වීම සඳහා පරිභෝජනය කරන්නට සිදුවීම අනිවාර්යය. එහෙත්, පරිභෝජනය කළ යුත්තේ තමා ගැනත්, පවුල හා සමාජය ගැනත්, සමස්ත ලෝකය හා විශ්වය ගැනත් වගකීමෙනි. පරිභෝජනය යනු තනියෙන් තමන් කැමති දෙයක් තමන්ට අවශ්‍ය විදියට ‘මයි කාර් – මයි පැට්‍රල්’ තර්කනයෙන් සිදුකිරීමේ නිදහස නොවේ. පරිභෝජනය යනු සමාජය ගැන, පරිසරය ගැන, සොබාදහම ගැන සංවේදීව කළ යුතු වැඩකි. වගකීමක් සහිත පුරවැසියෙක් යනු බුද්ධිමත් පාරිභෝගිකයෙකි.

පාරිභෝජනවාදය විසින් කරන්නේ මිනිසා පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කරන, තේරුමක්, වගකීමක් නැති, ආත්මාර්ථකාමී මෝඩයකු බවට පත් කිරීමයි. එවැන්නන් පරිභෝජනය කරන්නේ තමන්ට අවශ්‍ය නිසාම නොව, සමාජයේ පවතින පරිභෝජනවාදී රැලි නිසාය. පාරිභෝජනවාදය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නොවේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබේ. පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ. පාරිභෝජනවාදය පුද්ගලවාදීය. සමාජවාදය සමානාත්මතාවාදයකි. සමාජවාදී සමාජයක පුරවැසියා බුද්ධිමත් පාරිභෝගිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *