Easter Sunday attack

ආගමික සත්‍යය වාස්තවික සත්‍යයක් කරගත් ලෝකයක ජීවත් වීම

අජිත් පැරකුම් ජයසිංහ

ආගමික සත්‍යය යනු විශ්වාසයන් පද්ධතියකි. දෙවියන් ලෝකය මැවීම, කර්මය හා පුනර්භවය ආදිය එවැනි සත්‍යයන්ය. එය පදනම් වන්නේ භක්තිය මතයි.

විද්‍යාත්මක සත්‍යය ද යම් දුරකට එසේය. ගසකින් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසාය යන න්‍යාය උදාහරණයකි. එහෙත්, විද්‍යාත්මක සත්‍යය අනුභූතික සාක්ෂි මත නිරන්තරයෙන්ම වෙනස් වෙයි. ආගමික සත්‍යයත් විද්‍යාත්මක සත්‍යයත් අතර වෙනස එයයි.

ආගමික සත්‍යය හා මනෝමූලික සත්‍යය (subjective truth) අතර සම්බන්ධය ඉතා සියුම්ය. ආගම කෙතරම් පෞද්ගලිකද යන කාරණය මත එය තීරණය වේ. එහෙත්, බොහෝ ආගමිකයන් සිතන්නේ තමන්ගේ ආගම වාස්තවික සත්‍යයය (objective truth) කියාය.

ඉන්දික තොටවත්ත බුද්ධාගම ගැන සිතන්නේ ද, ඔහුට එරෙහිව පොලිසියට පැමිණිලි කළ මසූක් සජීව් මවුලවිවරයා ඉස්ලාම් ධර්මය ගැන සිතන්නේ ද එසේය. ගැටුම ඇත්තේ එතනයි. ඔවුන් සිතන්නේ පැවතිය හැක්කේ එක් වාස්තවික සත්‍යයක් පමණක්ය කියාය. ඒ ඔවුන්ගේ ආගමයි.

මෙයට විසඳුම කුමක්ද? මා සිතන අන්දමට නම්, එනම්, මනෝමූලිකව, මම නම් එක සත්‍යයක් විශ්වාස නොකරමි. එසේම කිසිදු සත්‍යයක් විශ්වාස නොකරමි. කොටින්ම සත්‍යය කියා දෙයක් ඇතැයි කියා හෝ විශ්වාස නොකරමි.

සත්‍යය යනු සාමූහික මානව චින්තනයේ අපරිමිත විශ්වයෙනුත් ඔබ්බෙහි පිහිටි දෙයක් හෝ කොහේවත් නොපවතින දෙයක් විය හැකිය. අප සත්‍යය යයි හඳුනාගන්නේ ද සමස්ත යථාර්ථය නොව යථාර්ථයේ කොටස්ය.

අපට ජීවිතය ලැබී තිබෙන්නේ මහත් දුක් විඳිමින් සත්‍යය සොයා යමින් නාස්ති කිරීමට නොවේ යයි මම සිතමි. එහෙත්, දුක් විඳීමෙන් සතුටු විය හැකි නම් හා සත්‍යය සොයා යාමෙන් සතුටු විය හැකි නම් එය ද ප්‍රශ්නයක් නැත. ඒ අනුව, සියලු සත්‍යයන් පවතීවා යි ද, සියලු සත්වයන් සතුටින් සිටිත්වායි ද පතන එක හැර අන් කළ හැකි දෙයක් නැත.

මේ සටහන තබන්නේ ඉස්ලාම් දහම හෝ නබි නායකතුමා හෝ විවේචනය කිරීම නිසා ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. ඔහු බුද්ධාගම අදහමින් ඉස්ලාම් දහම විවේචනය කරන්නේ ඔහුගේ වාස්තවික යථාර්ථය බුදු දහම නිසා විය හැකිය.

මීට පෙර වෙනත් ආගම් විවේචනය කළ බෞද්ධ නායකයන්ට එරෙහිව පොලිසිය සමාන හැන්දකින් බෙදනු දක්නට නොලැබිණි. ඉන්දිකට සමාන හැන්දකින් බෙදීම ගැන වාමාංශිකයන් විරෝධය දක්වන බව පෙනේ. ඔවුන් වශී වී සිටින්නේ ඉන්දික අත්අඩංගුවට පත්වීමට පෙර පවත්වන ලද කතාවටයි. ඔවුන් සිතන්නේ ආගම් විවේචනයට නිදහස තිබිය යුතුය කියාය. ආගම් යනු විද්‍යාවක් නොවේ. ඒවාට අනුභූතික සාක්ෂි මගින් නිවැරදි වීමේ හැකියාවක් නැත. ඒ ඒ ආගමිකයන්ට තමන්ගේ ආගම වාස්තවික සත්‍යයකි. එහෙයින් විවේචනය කිරීම තේරුමක් නැත. ආගමික හැඟීම්වලට රිදවීම වැඩක් නැති වැඩකි.

ආගමික හැඟීම්වලට රිදවීම අපරාධයක් ලෙස සලකන වර්තමාන ලංකාවේ කරදරයකින් තොරව ජීවත් වීමට මා ඉහත දක්වන ලද ආස්ථානය මට ප්‍රයෝජනවත්ය. ඔබ කැමති නම් ඔබට ද එය අනුගමනය කළ හැකිය.