ඥානසාර හිමි පල්ලි කුඩු කළත් නඩු විසිවෙන්නෙ මෙහෙමයි
අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති සමාවක් යටතේ හිරෙන් නිදහස් කරන ලද බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ක්‍රිස්තියානි ආගමික ස්ථානයකට කරන ලද හානි සම්බන්ධ නඩුවකදී අද දින ඔහුට ස්ථිර නිදහස ලැබිණි.
ඇත්ත වශයෙන් ම අද දින සිදු වූයේ කලින් කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකු නිදොස්කොට නිදහස් කරමින් දෙන ලද නඩු තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් කරන ලද අභියාචනයක් නීතිපතිවරයා විසින් ම ඉල්ලා අස් කරගැනීම නිසා එම අභියාචනය ප්‍රතික්ෂේප කර ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට දෙන ලද තීන්දුව ස්ථිර කරන බව ඔවුන්ට අභියාචනාධිකරණය විසින් දැනුම් දීමයි.
චෝදනාවට අනුව, 2008 ජූලි මස 06 දාත් 2013 ජූලි 11 දාත් අතර කාලයේදී (ඇත්ත වශයෙන් ම 2008 ජුනි 6 දින) තලාහේන අරලිය උයන ප‍්‍රදේශයේ පිහිටි ‘කල්වාරී’ නම් ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථානයකට කඩාවැදී එහි දේපලවලට හානි කිරීම, එහි සේවකයන් දෙදෙනෙකුට පහර දීම, මුදල්, ජංගම දුරකථනයක් හා රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය 2014 අප්‍රේල් 2දා එම චෝදනාවෙන් සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළා ය.
එම මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපවරයා විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර පසු අවස්ථාවක එම ඇපෑල නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කරගෙන තිබෙන නිසා එය නිෂ්ප්‍රභ කරන ලද බව අද දින විත්තිකරුවන්ට දැනුම් දෙන ලදී.
ඥානසාර හිමියන් විසින් කරනු ලබන ආගම්වාදී, ජාතිවාදී හා නීති විරෝධී ක්‍රියාවන්හිදී ඔහුට මුක්තිය ලැබෙන අන්දමින් පොලිසිය හා නීතිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම නඩු තීන්දු කදිම නිදසුනකි.
මෙම නඩුව ගොනු කරනු ලබන්නේ ම ඉතා අවිධිමත් ආකාරයටයි. උදාහරණයක් ලෙස අදාළ දේවස්ථානයට කරන ලද අලාභයේ වටිනාකම චෝදනාවේ දැක්වෙන්නේ රු. 50ක් ලෙසයි.
චෝදනා ලද විත්තිකරුවන්ගේ ලැයිස්තුව මෙසේ ය:
එස්. ඒ. අතුල සෙනෙවිරත්න, ඩබ්ලිව්.එම්. සුදුබණ්‌ඩා, එම්. තමරා බ්‍රියටිස්, ඒ.කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර, ඩී.එස්.පී. කඳනාරච්චි, ටී.කේ. සෝමදාස, ඊ.එම්. වික්‌ටර් රත්නායක, කේ.ඩබ්ලිව්. කරුණාරත්න, පූජ්‍ය අත්තරගම ඥනවිමල හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමි, පූජ්‍ය අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජීව
මෙම චෝදනා කෙතරම් දුර්වල ලෙස ගොනු කර තිබිණි ද යත්, නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ විත්තිකරුවන් “නීති විරෝධී රැස්‌වීමක සාමාජික වූ බවට සාක්‌කි මගින් තහවුරු වී නැති බවත්, පහරදීම් සිදුකර තුවාල කළ බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් වී නැති බවත්, රන් මාලයක් හා දුරකථනයක් කොල්ල කෑ බවට නඩු භාණ්‌ඩ සොයාගෙන නැති බවත්” ය. පැමිණිල්ලේ සාක්‌කි විශ්වසනීයත්වයෙන් තොර බවත් ප්‍රබල සාක්‌කි නොමැති බවත් ඇය එදා අවධාරණය කළාය.
පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව තහවුරු කර නැති බව පෙන්වා දෙමින් ඇය පැවසූ කරුණු අතර පොලිස් නිලධාරීන් කිසිදු විශ්වසනීයත්වයකින් යුතුව සාක්‌කි දී නොමැති බවත්, එම අවස්‌ථාවේදී එතැනට පැමිණි තලංගම පොලිස් ස්‌ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් එහි සිටි පිරිස ප්‍රකෝපයට පත්වූ බව දෙපාර්ශවයේම සාක්‌කිවලින් තහවුරු වී ඇති බවත් විය.
තලංගම පොලිස් ස්‌ථානාධිපතිවරයා එදින සවස 5 වන තෙක් සිද්ධියෙන් පසුවද එහි රැඳී සිටිය ද කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර නැති බවත්, කැරැලිකරුවන්ගේ ක්‍රියාවන් මර්දනය කිරීමට අවම පොලිස් බලතල හෝ ක්‍රියාත්මක කිරීමක් සිදු කර නොමැති බවත් පෙන්වා දෙමින් ඇය පැවසුවේ ආරවුල් ඇති වූ බව හෝ තහවුරු කොට නොමැති බවයි.
අංක HC 5691/2011 යටතේ පවරා තිබුණ මෙම නඩුව ඇසෙද්දී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ එම නඩුව පැවරිය යුත්තේ අපරාධ නීති සංග්‍රහයේ 291 වගන්තියට අනුව බවය. විත්තිකරුවන් ආගමික සංකේත කඩා බිඳ දැමීම හා ඒවාට නිගරු කිරීම වැනි දේ සිදුකර තිබූ බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. එහෙත්, මෙම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර නඩු විභාගය දිගට පවත්වාගෙන යන ලදී.
700ක් පමණ පිරිසක් සමග පල්ලියට පහර දීමට නායකත්වය දුන් ඥානසාර හිමි තමන් පල්ලි 22ක් විනාශ කර ඇති බවට කටමැත දෙඩවූ බව නඩු විභාගයේදී සාක්කිකරුවකු පැවසී ය.