භික්ෂු නායකත්වයෙන් අලුත් දේශපාලන බලවේගයක් කරලියට
හිටිහැටියේ අවදි වූ අතුරලියේ රතන හිමියන් බලාපොරොත්තු රහිත ක්‍රියාමාලාවක් ඔස්සේ අලුත් දේශපාලන නැම්මක් ඇති කළේ ය. ඔහු මාරාන්තික උපවාසයක් කරන බවට තර්ජනය කර යම් ඉල්ලීමක් දිනා ගත්තේ ය. ඒ ඉල්ලීම දිනාගන්නට මාරාන්තික උපවාසයක් කළ යුතු ද? නැත. රතන හිමි කළ යුතුව තිබුණේ ඔහුගේ බොස් වන ජනාධිපති හමු වී එසේ කරන ලෙස ඉල්ලා සිටීම ය. මාරාන්තික උපවාසයකට පෙර තවත් බොහෝ දේ කළ හැකිව තිබිණි.
එහෙත්, මේ උපවාසය සමග වැදගත් බලමුළුගැන්වීමක් සිදු විය. භික්ෂූන්ගේ නායකත්වයෙන් යුත් ජාතිවාදී දේශපාලන පෙරමුණක් ප්‍රචණ්ඩ ස්වරූපයෙන් රටේ ඇතැම් ප්‍රදේශවල නැගී සිටියේ ය. ඔවුන් විසින් ඇතැම් නගරවල කඩ සාප්පු වසා, බස් ධාවනය නවතා හර්තාලයක් ද කරන ලදී. මෙම භික්ෂු බලවේගය සමීපව නිරීක්ෂණය කරන විට දැකිය හැක්කේ දේශපාලන බලය වෙනුවෙන් වූ 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ උපායමාර්ගය වැනි බල ව්‍යාපෘතියකි.
කෙසේ වෙතත්, එම බලවේගය ද පදනම් වන්නේ පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයේ පදනම වූ ජාතිවාදී බලවේගය මත ම බව පෙනේ. ඒ සමග ම මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්ව පදනමෙහි බෙදීමක් ද දක්නට ලැබේ. මෙම බලවේගයේ නායකයන් දෙපොළක් වන ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා අතුරලියේ රතන හිමි මේ මොහොත වන විට යම් සමීප සම්බන්ධයක් තිබෙන්නේ රාජපක්ෂ බලවේගය සමග නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගයි.
ඔවුන් ඉදිරියටත් එසේ නොසිටින්නට ඉඩ ඇත. එහෙත්, මේ වන විට ඉහත කී භික්ෂූන් දෙනමගේ නායකත්‍වයෙන් නව දේශපාලන බලවේගයක් බලවත් ලෙස කරලියට එමින් සිටියි. ඔවුන්ට දැනටත් සුවිසල් කේවෙල් කිරීමේ හැකියාවක් තිබේ. සිවුරේ බලයට ආවරණය වෙමින් දැඩි සටන්කාමී ජවයකින් කඩාවැදීමට ඔවුන් සූදානම් බව පෙන්නුම් කර තිබේ. දැනට ඔවුන් වටා සිටින්නේ සුළු පිරිසක් වුව ද එය වේගයෙන් වර්ධනය විය හැකි බලවේගයකි. අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද්, නාමල් කුමාර වැන්නන් විසින් සංකේතවත් කරනු ලබන ලුම්පන් කොටස් දැනටමත් මේ වටා ඒකරාශී වී සිටිති.
භික්ෂු නායකත්වයක් සහිත මෙම බලවේගය ඉදිරි මැතිවරණවලදී තීරණාත්මක බලයකි. මැතිවරණ දිනන්නට සිංහල ඡන්ද පදනම්වල පතුල් සූරන පිරිස්වලට ඔවුන් නොතකා හළ නොහැකි ය.
එහෙත්, ඔවුන්ගේ දේශපාලනයේ න්‍යායක් තිබේ නම් එහි පදනම මුස්ලිම් විරෝධය නිසා මධ්‍යස්ථ ජාතික නායකත්වයකට ඔවුන්ගේ සහයෝගය ලබාගන්නට නම් සුළු ජාතික විරෝධී ස්ථාවරයක් ගැනීමට සිදු වනු ඇත.