ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (2)
ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (1) මෙතනින් කියවන්න >>
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ ඇති ප‍්‍රබලම දුර්වලකම වන්නේ එමගින් අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කරන්නේ එහි 3 වගන්තිය යටතේ ඇති කරුණු පමණක් වීම බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලික අයිතිවාසිකම්වලට සම්බන්ධ හෙයින් වගඋත්තරකරුවකුට එරෙහිව අපරාධ නඩුවක් පවරන්නට හැකියාවක් නැත.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)වැරදි ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගන්නා නිලධාරියෙකු අපරාධයක් කළා සේ සලකා ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පරීක්ෂණයක් කොට ඔවුන් අධිකරණ වලට පමුණුවා දඬුවම් කිරීමේ හැකියාව ICCPR ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
මේ අනුව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ICCPR සම්මුතියේ නම මෙම පනතට යොදාගැනීම ප්‍රශ්නකාරී බවත්, එයින් සිදුවන්නේ ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් ඇති වීම බවත් පෙනේ.
මෙම පනතෙහි තවත් ප්‍රබල අඩුපාඩුකමක් පෙන්වා දෙමින් ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය මෙසේ පවසයි: “තවත් අඩුපාඩුවක් නම් 3 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් අයෙකුට ඇප දීම මහාධිකරණයක් මගින් පමණක් සිදු කළ යුතු යැයි කීම මගින් බොහෝ කාලයක් ඔහු රිමාන්ඞ් භාරයේ තබා ගැනීමට මග පෑදේ. මහේස්ත‍්‍රාත් උසාවියේ සිට මහාධිකරණයක් කරා ගොස් එහිදී ඇප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන බව කවුරුත් දනී. මේ පනත නිසා එවැනි කාලයක් රිමාන්ඞ් භාරයේ සිටීමට චෝදනා ලැබූවෙකුට සිදු වේ. ඉන් පසුව එවැනි වරදක් නොකලා යැයි තීන්දු කළා වූවද ඒ වනවිට ඔහුව සමාජයෙන් ඉවත් කර තැබීමේ කර්තව්‍ය කර ගෙන ඇති අතර ඒ මගින් විවිධාකාර දේශපාලන වාසි ලබා ගත හැකි ය.”
ලංකාවේ ICCPR පනත විශාල වශයෙන් සංශෝධනය කළ යුතු බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය එසේ කරන තුරු ඒ පනත යටතේ කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳව විධිවිධාන ප‍්‍රකාශයට පත් කළ යුතු බවත් යෝජනා කරයි. “මෙම විධිවිධාන මගින් අපරාධ නඩු පටිපාටිය යටතේ ඇති සියලූම අයිතිවාසිකම් රැක ගත යුතුවාක් මිස ඒවා අත්හැරදැමීමක් සිදු නොවිය යුතු ය. විශේෂයෙන්ම පැමිණිල්ලක් ලද පමණින් මිනිසුන් අත්අඩංගුවට ගැනීමේ නීතිවිරෝධී කි‍්‍රයාමාර්ග නොකරන ලෙස සියලුම පොලිස් ඉහළ නිළධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් නිකුත් කළ යුතුව ඇත.”