විපරීත අධ්‍යාපනය තුළ විපරීත ගුරුවරුන්ගේ සාධාරණ අරගලය
අජිත් පැරකුම් ජයසිංහ
අද ගුරුවරු වැඩ වර්ජනයක් කරනවා. මාත් හිටපු ගුරුවරයෙක්. මගේ හිතින් මාත් මේ වර්ජනයට සහයෝගය දෙනවා.
මම දැන් ගුරු වෘත්තියෙන් සමු අරන් අවුරුදු තුනහමාරක් වෙනවා. මං අවුරුදු 22ක් විතර ගුරු වෘත්තිය කළා. අන්තිමට මං ගත්ත පඩිය රු. 18,000ක් විතර වුණේ. මං එච්චර හොඳ, වෘත්තිකයෙක් නෙමෙයි. මං මගේ පඩිය කීයද කියන එකවත් අන්තිම කාලෙ හෙව්වෙ නැහැ. අවුරුදු ගණනාවකින් වැටුප් වර්ධක හැදිලා තිබුණෙ නැහැ. ලැබිය යුතු ශ්‍රේණි උසස්වීම් ලැබී තිබුණෙත් නැහැ. මං ඒවා අතෑර දාලා තිබුණෙ. ඒවා හදාගැනීම මළ වදයක්. රස්සාව කරනවාට වඩා ඒවා ගැන අවධානය යොමු කරන්නට ඕනැ.
හැබැයි මං වැඩ කළා. මගේ ගුරු ජීවිතෙන් අවුරුදු දහයක් විතර මං හිටියෙ ලංකාවෙ දුෂ්කර ම පාසල්වල. යුද්ධ කාලෙ පදවියේ මායිම් ගම්වලත්, වියළි කලාපයේ වගේ ම කලුතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර් හයක් විතර පොදු ප්‍රවාහනය නැති පාසලකත් මං වැඩ කළා. ඇත්ත ම කියනවා නම් ගොඩක් වැඩ කළා. මට නියමිත වුණේ ඉංග්‍රීසි විෂය උගන්වන එක වුණාට මං මාධ්‍ය වගේ අමතර විෂයනුත්, නාට්‍ය වගේ බාහිර වැඩත්, ක්‍රිකට් ක්‍රීඩාව වගේ දේත් කළා. ක්‍රිකට් නිසා අන්තිම කාලෙ වැඩ කරන වෙලාවෙ අවසානයක් තිබුණෙ නැහැ. ඔය අතරෙ ගුරු සංගමුත් කළා. කියන්න කණගාටුයි ලංකාවෙ ගුරු වෘත්තිය තරම් අසංවිධිත තවත් වෘත්තියක් නැහැ. ලක්ෂ දෙකකට වඩා ගුරුවරුන් හිටියත්, ගුරු සංගම්වලට එදිනෙදා කටයුතු කරගන්නට ප්‍රමාණවත් සාමාජික මුදලක් හෝ ලැබෙන තරම් සාමාජිකයන් පිරිසක් නැහැ. මා සිතන හැටියට ගුරුවරුන් අතරින් ගුරු සංගම් සාමාජිකයන් වන පිරිස 10%ක්වත් නැතුව ඇති. සාමාජික වෙන අය අතරින් වැඩි පිරිසක් සංගම්වල ක්‍රියාකාරී නැහැ. සංගමුත් මහා යල් පැන ගිය සංවිධාන. ඒවාට ගුරුවරුන් ආකර්ශනය කරගන්නටත් බැහැ. හැබැයි, ගුරුවරුන් කොයි තරම් දීන ද කියනවා නම් බලයේ ඉන්න දේශපාලන පක්ෂයක සංගමයක් පාසලට ඇවිත් බැඳෙන්න කිව්වාම නම් බයේ ඒකට බැඳෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් එහෙම ගන්නකොට ගුරුවරුන්, ගුරුවරියන් අතරින් වැඩි පිරිසක් කොහොම හරි ඒකට සහභාගි නොවී කට්ටි පනින්නට ක්‍රමයක් හොයාගන්නවා. මුළු රටම දැනගෙන හිටියත්, අද වර්ජනය ගැන අඥී අපි දන්නෙ නෑනි කියල ඉස්කෝලෙ ගියපු ගුරු නෝනලා මහත්තුරු සෑහෙන පිරිසක් මේ ලියනකොටත් පාසල්වල ඉන්නවා.
ගුරු මං හිටියෙ ලංකා ගුරු සංගමයෙ. ජෝසප් ස්ටාලින් කියන්නෙ මගේ ගුරු ජීවිතේ මුල් කාලෙ ඉඳන් බොක්කක්. පහත දැක්වෙන්නෙ මා ජෝසප් සමග මෙහෙයවූ සම්මුඛ සාකච්ඡාවක්. (ලිපිය වීඩියෝවෙන් පසු දිගට ම කියවන්න)
ගුරු වෘත්තියත් එක්ක දේශපාලනෙත් කරන්න ගිහින් මට අවුරුදු තුනහමාරක් විතර රස්සාව නැතුව ඉන්නට වුණ එකත් මගේ වෘත්තීය ජීවිතයට බලපෑවා. අවුරුදු විස්ස සම්පූර්ණ වුණ හැටියෙ විශ්‍රාම ගන්න මං හිතුවෙ ඒ නිසායි. ඒකට මූලික හේතුව, ආදායම. රස්සාවල් දෙකක්, තුනක් කරන එකෙන් වෙන්නෙ එකක්වත් හරියට කරගන්නට බැරි වෙන එක. අනෙක් පැත්තෙන් මගේ අනුරාගය වන ලිවීම කරගෙන යන්නට අවශ්‍ය පසුබිම හදාගන්නට මා උත්සාහ කළ යුතුව තිබුණා. ගුරු වෘත්තියට මම අදත් ආදරෙයි. ජීවිතේ යම්කිසි දවසක ආපහු කරන්නට ලැබුණොත් මීට වඩා හොඳට කරන්නට පුළුවන් වේවි.
පිටිසර ගමක ජීවත් වන මිනිහෙකු වන මං අන්තර්ජාලයෙන් රැකියා කරන පුද්ගලයෙකු වුණේ 2005 විතර ඈත කාලෙ. මුලින් ම මං අන්තර්ජාලයට ලොග් වුණේ, වෙබ් සයිට් අප්ඩේට් කළේ සීඩීඑම්ඒ දුරකථනයකින්. ගුරු වෘත්තියේ හිඟන වැටුප නිසා තමයි මම ගුරු වෘත්තියෙන් පිට සන්නිවේදන වෘත්තිකයෙකු වෙලා අද ජීවිතේ ගැටගහගන්නේ. බාහිර දැනුමත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වුණ නිසා මට මා උගන්වපු ඉංග්‍රීසි විෂයෙදි සාමාන්‍ය ගුරුවරයෙකුට වඩා දෙයක් පහසුවෙන් කරන්නට හැකියාව ලැබුණා.
ඒ වුණාට හුඟක් ගුරුවරු ලේසියට කරන්නෙ ටියුෂන් කරන එක. ඉතා දැඩි තරගකාරී ක්ෂේත්‍රයක් වන ටියුෂන් තමයි ගුරුවරයාටත්, අධ්‍යාපනයටත් ලොකුම හෙණය. වලිගය විසින් බල්ලා නටවන්නා සේ ටියුෂන් විසින් අධ්‍යාපනය නටවන තත්වයක් අද වන විට නිර්මාණය වෙලා. ටියුෂන් වෙළඳපොළේ තිබෙන බොහෝ නරක දේවලට හා ඒවා පාසලට කරන බලපෑමට ගුරුවරුන් වගකියන්නට ඕනැ. ටියුෂන් කියන්නෙ හරිම කෑදර, ආත්මාර්ථකාමී පාරිභෝජනවාදයක් නිර්මාණය කර නඩත්තු කරන දෙයක්.
ඔය කොළ පිරවිල්ල කියන්නෙ ඇත්තට ම ගුරු වෘත්තිය එපා කරවන වැඩක්. ඕක ආවෙ අඛණ්ඩ ඇගයීම් එක්ක. ඒකෙ මූලික අරමුණ වුණේ ළමයින්ට විභාග බර අඩු කරන එක. ඒ අනුව, පවත්වන්නට නියමිත වුණේ වර්ෂාවසාන වාර විභාගය විතරයි. ඒ වුණාට වුණේ අනෙක් පැත්ත. දැන් ක්‍රීඩා කරන, ට්‍රිප් යන, බිග්මැච් ගහන පළමුවෙනි වාරෙත් වාර විභාග පවත්වනවා විතරක් නෙමෙයි, මාසික පරීක්ෂණත් තියෙනවා. මේ ලෙඩ වැඩි කරගත්තෙ වෙන කවුරුවත් නෙමෙයි, ගුරුවරු හා කලින් ගුරුවරුන් වී සිටි විදුහල්පතිලා සහ අධ්‍යාපන නිලධාරීනුයි. මේවා කළේ තරගකාරිත්වය වැඩි කරගන්න. එහෙම නැතුව, සැබෑ අධ්‍යාපන ඵලදායිතාව ගැන හිතලා නෙමෙයි. අඛණ්ඩ ඇගයීම් ක්‍රමය අද වන විට පල් බොරුවක්. එය නිකම් ම කොළ පිරිවිල්ලක් විතරයි. ඒ වුණාට ඒක වෙනස් කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්නට කවුරුවත් බලපෑම් කරන්නෙ නැහැ.
අද වුණත්, ගුරුවරුන් බහුතරයක් දෙනා කිසිම දැක්මක් නැති, වෘත්තිකභාවයක් නැති, ටියුෂන් කරන අතරෙ පාසල්වලත් උගන්වන සිල්ලර වෙළෙන්දන් පිරිසක් විතරයි. ඔවුන් වැඩි දෙනෙකු නව දැනුම ලබාගැනීමක් ඇත්තේ ම නැහැ. සමහරුන් ජීවිත කාලය පුරා ම උගන්වන්නේ එක්කෝ තමන් ඉගෙන ගත් කාලයේ පාසල්වලින් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ ගුරු විද්‍යාලවලින් උගත් දේවල් ම පමණයි. කිසිම යාවත්කාලීන වීමක් නැති ගුරුවරුන් ඉන්නවා. ඒ අතින් වෙළඳපොළ වෙනුවෙන් යාවත්කාලීන වන ටියුෂන් ගුරුවරුන් ඉදිරියෙන් ඉන්නවා.
ගුරුවරුන් වැඩිදෙනෙකු පන්තියට යන්නෙ සූදානමින් නෙමෙයි. වාර සටහන්, පාඩම් සැලසුම් හදන අය වැඩි දෙනෙකු ඒවා හදන්නෙ ඉගැන්වීමේ කාර්යයට වඩා නිලධාරීන්ට පෙන්නන්නට විතරයි. පන්තිවලට ඇවිත් මොනවා හෝ කරලා යන ගුරුවරුන් තමයි රටේ බහුතරය. පාසල් වැඩි හරියක ගුරුවරු විෂය නිර්දේශ හරියට ආවරණය කරන්නෙ නැහැ. උඩින් පැන පැන යනවා. ගුරුවරුන්ට හරියට වැඩ කරන්නට පුළුවන් වාතාවරණයකුත් පාසල්වල නැහැ. තිබුණත්, වැඩි දෙනෙකුට එහෙම කරන්නට උවමනාවකුත් නැහැ.
ළමයින් කෝටුමස් කරන ගුරුවරුන් එහෙම කරන්නෙ තමන්ගෙ අසාර්ථකත්වය වසාගන්න.
ලංකාවේ ගුරු අධ්‍යාපනය කියන්නෙ ඉතාම පහත් පෙළේ විෂයක්. අධ්‍යාපන මනෝ විද්‍යාව, අධ්‍යාපන ක්‍රම විද්‍යාව, අධ්‍යාපන තාක්ෂණය වැනි දේ ගැන ලංකාවේ ගුරුවරුන්ට හා ටියුෂන් වෙළෙන්දන්ට කිසිම දැනුමක්, කුසලතාවක්, යහපත් ආකල්පයක් නැහැ.
පාසල්වල ඉන්න අධ්‍යාපන විද්‍යාව ගැන කිසිම සංවේදීභාවයක් නැති වධකයන් පිරිස තමයි බහුතරයක් විදුහල්පති පිරිස. කැපී පෙනෙන්නට එක එක දේ කරන ඔවුන් තමන් ඒවා කරන්නේ මොකක් වෙනුවෙන් ද කියාවත් දන්නා අය නෙමෙයි.
ලංකාවෙ පාසල් කියන්නෙ ඇත්තට ම ළමා වධකාගාර. ඒවාට යන ළමයින් අවුරුදු 13ක් ජීවත් වෙන්නෙ තමන්ගෙ ඇඟට කොයි වෙලාවක හරි කඩා පනින්නට ඉඩ තියෙන විපරීතයන් පිරිසකට බයේ. මේ විපරීතයන් අවසානයේදී කොහොම හරි මල් වගේ අහිංසකව පාසලට එන දරුවන්වත් තමන් වගේ ම විපරීතයන් පිරිසක් බවට පත් කරනවා. ඕක තමයි අධ්‍යාපනය කියන්නෙ. වෙන මොකුත් නැහැ.
ඔය තත්වය වෙනස් කරන්නට ලංකාවෙ ගුරුවරුන්ට, අධ්‍යාපන නිලධාරීන්ට, ගුරු සංගම්වලට හා ඊනියා අධ්‍යාපනඥයන් කියන කපටින්ට ඇත්තෙන් ම පුළුවන්කමක් නැහැ. එය ගැඹුරු සමාජ දේශපාලනික වැඩක්.