නුඹ නාඬන් ප්‍රේමලතා – හිනාවෙයන් ප්‍රේමලතා

අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර කාන්තා දිනය අවසන් වෙමින් තිබෙනවා. මා ඉතා පැහැදිලිවම ස්ත්‍රීවාදයට විරුද්ධ කෙනෙක්. එය තවත් එක් අන්තවාදයක්. මා පෙනී සිටින්නේ ස්ත්‍රී පුරුෂ සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව වෙනුවෙන්. ජාත්‍යන්තර කාන්තා දිනය හෝ කාන්තාවන්ගේ ප්‍රශ්න මට අදාළ වන්නේ එතැනින්.

අඩ සියවසක් පමණ කාලයක් තිස්සේ ස්ත්‍රීවාදීන් ශ්‍රී ලංකාව තුළ කාන්තා විමුක්තිය, කාන්තාවන්ට සමතැන, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, දේශපාලනයේ කාන්තා නියෝජනය වැනි කාරණා සම්බන්ධයෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. එහෙත්, තවමත් මෙරට කාන්තාවගේ තත්වයේ වර්ධනයක් නැති බව තමයි ඔවුන් කියන දේවලින් පෙනෙන්නේ.

ඔවුන්ට තවමත් කාන්තාව වින්දිතයෙකු නම්, ස්ත්‍රීවාදී සංවිධාන විසින් වහාම තම ව්‍යාපෘති ගැන විගණනයක් සිදුකළ යුතුව තිබෙනවා. මේ හොඳ දවසේ අපි ඒ ගැන කතාකරන්නේ නැහැ.

ලංකාවේ දේශපාලනික, සමාජ විචාරාත්මක හා වාම ගීත සාහිත්‍යය තුළත් කාන්තාව වින්දිතයෙක්. එය මැනැවින් නිරූපණය කරන අවස්ථාවක් තමයි කම්කරු කාන්තාවක් ගැන ලියැවුණ ‘රෑ වැඩ මුරය අවසන් වන කණිසමට’ ගීතය.

බුදු අම්මෝ දුක වැගිරෙන අන්දමේ තනුවක් එක්ක මේ පිරිමි ගායක, ගීත රචක, සංගීත නිර්මාපක තුන් කට්ටුව එළියට දාන්නේ සිය පසුගාමී මධ්‍යම පන්තික කුහකකමයි. රෑ වැඩ කරන කාන්තාවක් දිහා බලාගෙන මුන් අඬා වැලපෙනවා. රෑ වැඩ කරන කාන්තාවන් අනාරක්ෂිතයි, ඒක දුකයි කියලායි උන් හිතනවා ඇත්තෙ. කාන්තාවන් අනාරක්ෂිත වෙන්නෙ මේ වගේ අදහස් තිබෙන පිරිමි නිසා තමයි.

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දිය කර හරින්නේ
මැසිම ද හිත ද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුළැලි ද සයුරේ රළ නගන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

ගායනය: සුනිල් එදිරිසිංහ

පද: බන්ධුල නානායක්කාරවසම්

සංගීතය: රෝහණ වීරසිංහ

මේ මධ්‍යම පන්තිකයන්ට තම තමන් කරන වැඩකට ඇති හෝ නැති අතානාත්තුවලින් සැපට ඉන්නට ලැබෙන්නේ මේ කාන්තාවන් වැඩ කර උපයන විදේශ විනිමය නිසාය යන සරල යථාර්ථයවත් මේ පද ලියූ, බැංකුකරුවකු වන බන්ධුල නානායක්කාරවසම්ට නොතේරෙන හැටි! කිසිම ස්ත්‍රීවාදියෙකු මේ ගීත කනිපින්දමට විරෝධය පළ කළ බවක් ඔබ අසා තිබෙනවාද?

මිනිසුන් වැඩකළ යුතුයි. සමාජයේ පැවැත්මට අවශ්‍ය මූලික වැඩ කරන ගොවි, කම්කරු ජනතාවගේ ශ්‍රමය අගය කරන්නට සමස්ත සමාජයම ඉගෙනගත යුතුයි. මධ්‍යම පන්තියට පවතින්නට පුළුවන් ගොවීන් කම්කරුවන් වැඩ කරන නිසායි. වැඩ කරන එක කරුමයක් නෙමෙයි. වැඩ කරන මිනිසුන් වැඩ කරන්නේ මධ්‍යම පන්තිකයන් වගේ කණගාටුවෙන් නෙමෙයි. වැඩ කිරීම වැඩ කරන ජනතාවට සතුටක්. නයිට් ඩියුටි කරන්නෙ පවට නෙමෙයි. මගේ බිරිඳ රෝහලේ අදත් නයිට් ඩියුටි. ඔවුන් වැඩකරන්නෙ එසේ වැඩකිරීම අවශ්‍ය නිසා. ඇය වැඩට යන්නෙ සතුටෙන්. මා ඒ ගැන ලියන්නෙත් ආඩම්බරෙන්.

මේ ගීත යාදිනි බිහිවෙන්නට කලින් 1980 දශකයේ මුල හරියේ අසන්නට ලැබුණු අපූරු ගීතයක් මට අද යූටියුබ්හි සොයාගන්නට ලැබුණා. මා මේ ගීය ඇසුවේ එකල සවස හතරට පමණ වෙළඳ සේවයෙන් විකාශය වූ ක්‍රීඩා සංග්‍රහයෙන්. මේ ගීයේ පසුබිම ඒ වැඩසටහන මෙහෙයවූ සමන් අතාවුදහෙට්ටි දන්නවා ඇති. ඔහුටම ඒ ගැන ලියන්නට භාරකරනවා. පද රචකයා කවුරුද, සංගීතය කාගෙද කියාත් ඔහු දන්නවා ඇති. ගීතය මේකයි. ගායනය නීලා වික්‍රමසිංහ.

නුඹ නාඬන් ප්‍රේමලතා
හිනා වෙයන් ප්‍රේමලතා
බාධක හමුවේ නොසැලී
පෙරට යමන් ප්‍රේමලතා

කඳුළු බිංදු රැගෙන නෙතේ
දහදිය හා මුසු කරලා
අනාගතේ ජය ගීතේ
නුඹේ අතින් ලියා තිබේ

සෝක සුසුම් මඩුලු තිරේ
ඉරා දමා බිම හෙළලා
නුඹ යන මේ මග දෙපසේ
සුවඳ කුසුම් පිපී දිලේ

ඈත ගමකින් පැමිණ බාධක හමුවේ ඉදිරියට යමින් ජාත්‍යන්තරය දක්වා ගිය ක්‍රීඩිකාවක් ගැන විස්තර කරලා එදා ක්‍රීඩා සංග්‍රහයේ මේ ගීතය වාදනය කළා. ඒ තමයි මේ ගීය මගේ හදවතේ කොටපු දවස.

අහන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *