flowers and shadow - photo by Ajith Perakum Jayasinghe

මංගලය උදෑසන

අජිත් පැරකුම් ජයසිංහ

හරි පරිස්සමින් එලු
ජීවිතේ ඇතිරිල්ල
පොඩිවෙලා සුන්දරයි
මාත් ලස්සන වෙලා

කොට්ටයක් බදාගෙන
මුනින් වැතිරී මං
බලා සිටිනෙමි මෙසේ
ඔබ දිහා

පුංචි දරුවකු සේ
ඔබ නිදයි
වෙහෙසකර රාත්‍රියෙ‍
මිහිරි සුසුමන් හෙළා

කන්දක්ය ළය මඬල
මම ඉඳිමි පාමුල
අතක් ඔබෙ ගත මතින්
නොඑළා

කවුළුවේ සුදු තිරෙන්
සුදු එළිය ගලා එයි
ගේකුරුළු කිචිබිචිය
පිටත බිත්තියෙ ඇසෙයි

මොනරෙකුද හඬලන්නෙ?
කුරුළු කූජන රැසකි
රේඩියෝවක් ඇසේ
ප්‍රවෘත්තිද කොහෙද ඒ

ඒ සියල්ලම නොව
ඔබේ හුස්මය ලොව
ඔබ කවුද මම සිතමි
මා කවුද නොදන්නෙමි

මංගලය උදෑසන
රාත්‍රිය අහවරය
දෙවියනේ මම තවම
නිරුවතින්

2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.

මල් සැරසිල්ල ඊශා කප්පරගේ, ඡායාරූපය අජිත් පැරකුම් ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *