මම ද කන් දී සිටිමි
අජිත් පැරකුම් ජයසිංහ
රෑ නිහඬ හඬ ගොනුව
තුළ ඇසෙන
පළඟැටින්
පියාපත් මදින හඬ
හිටිවනම නතර විය
ඒ මහා නිහඬබව
දරාගත නොහැකිව
ගල්ගැසිණි රාත්‍රිය
පරිගණකයේ ඇතුළත
පුංචි පංකාවක් කැරකෙන
සිහින් කෙඳිරිල්ල නැවතිණි
මහා වැස්සක් වැස
නතර වූ කලක් මෙන්
නිහැඬියාවකි මූසල
එය දරාගත නොහැකිව
මූසිකය සොලවා අතින්
නින්දට ගිය පරිගණකය
අවදි කළෙමි
නිහඬ සන්සුන් හැම තැන
නේක කෙඳිරුම් සහසකි
සියඹලා කොළයක්
ගසකින් පාව විත්
බිම වැටෙන හඬ ඇසී
බලු තෙමේ අවදිව
කණ්පට ගසන මහා ඝෝෂාව
ඇසිණි මට
තුරු පත් මතින් ලිස්සා
රාත්‍රී පාළුවේ
කඳුළු පිනි කැට වැටේ
ඉහළ ආකාසයේ
වළාකුළු තල්ලු කර
උඩු හුළඟ කැරකේ
උල්කාපාතයක්
විශ්වාන්ධකාරය
විනිවිදින හඬ ඇසේ
සංක්‍රමණ පක්ෂියෙක්
කොහේදෝ ඈත සිට
නොදන්නා ඈතකට
අඳුරේම තටු සලයි
මල් සෙමෙන් ඇහැරී
පෙති අතින් දිගහරියි
පුංචි සමනල බිජු
සෙමෙන් පුපුරා
දළඹුවෝ තුරුපත්
ලෑටිගෑමට යත්
රෑබදුල්ලෙක් හැරී
පසුපසින් එන එළියෙ
හඬ අසයි
මම ද කන් දී සිටිමි