ඔයිල් පැල්ලමේ වික්‍රමය
අජිත් පැරකුම් ජයසිංහ
තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත ජීවිතයේ ඔයිල් පැල්ලම් නවකතාව කියෙව්වෙමි. රස වින්දෙමි. මේ විචාරයක් නොවේ. මා විචාරකයෙකු නොවන අතර විචාර ලියන්නේ ද නැත. මා ලියන්නේ යම් කෘතියක් ඔස්සේ විඳින ලද රසය හා ඒ ඔස්සේ මගේ සිතට නැගුණු සිතුවිලිය. සාහිත්‍යකරුවකු කෘතියක් නිර්මාණය කරන්නේ තමන් ඒ නිර්මාණයෙන් විඳින රසය සමාජය සමග බෙදාගැනීමටය. සමාජය එම කෘතිය ගැන සංවාද කිරීම කලාකරුවාගේ ජයග්‍රහණයකි. එහි ගුණදොස් විවේචනය විනිශ්චයකාරයන්ගේ වැඩකි.
ජීවිතයේ ඔයිල් පැල්ලම් ශ්‍රී ලාංකික නවකතාවේ වස්තු විෂය නිම්වළලු පුළුල් කළ කෘතියකි. මීට පෙර ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් නවකතාව ක්‍රිකට් ඇසුරෙන් නවකතා කලාව පෝෂණය කළ අන්දමින්ම තරිඳු පරණ ඉංග්‍රීසි කාර් ඇසුරෙන් නවකතාව පෝෂණය කරයි. ශෙහාන්, ප්‍රදීප් මැතිව් නම් මන:කල්පිත ක්‍රිකට් ක්‍රීඩකයකු ඇසුරෙන් කතාවක් ගොඩනැගූ අන්දමින්ම තරිඳු මන:කල්පිත ඔස්ටින් ඒ90 ඇට්ලැන්ටික් කාරයක් ඇසුරෙන් අපූරු කතාවක් නිර්මාණය කරයි. ඔහුගේ පොතේ කවරයේ තිබෙන්නේ එම වර්ගයේ ඡායාරූපයකි.
මම 1984, 85 වර්ෂවල කොළඹ වෝකර්ස් පුත්‍ර සමාගමේ ඉංජිනේරු ආධුනිකයකු ලෙස අවුරුදු දෙකක් මෝටර් යාන්ත්‍රික විද්‍යාව හැදෑරුවෙමි. ඒ කාලයේ අතපත ගාන්නට ලැබුණු ඔස්ටින්, මොරිස් වාහනවල මතකය මගේ මනස තුළ නැවත අවදි වීමෙන් මම කුල්මත් වුණෙමි. උසස් පෙළට පිස්සු කෙළීම නිසා මා ගැන බියවී මට ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ මෙම පාඨමාලාවට අයදුම් කරන්නැයි කියා මගේ මව්පියන් මා එයට තල්ලු කළමුත් මා කවදාවත් කාර්වලට එතරම් ආසාවක් දක්වා නැත. එය මගේ සිහින සීමාවට එපිටින් තිබෙන බැවින් මට එය හුදෙක්ම උපයෝගී භාණ්ඩයක් පමණි.
තරිඳු සිය නවකතාව සම්ප්‍රදායික සම්මාන ආකෘතිය තුළ සිර කරන්නට යාම නිසා මේ පරණ කාර්වල පිංතූර හෝ චිත්‍ර ටිකක් තම පොත තුළින් පාඨකයාට ඉදිරිපත් කරන්නට තිබුණු අවස්ථාව ඔහුට මගහැරී ඇත. ඔහුගේ කාර් බොහොමයක පිංතූර මා බැලුවේ අන්තර්ජාලය පීරලාය. සැලසුම් සහගත, වෘත්තීය ලේඛකයකු මෙන්ම දක්ෂ අලෙවිකරුවකු ද වන ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් කියවූ දිනවල මම නිකමට මැතිව් නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ නම අන්තර්ජාලයේ සොයා බැලුවෙමි. ඒ වන විට ඒ නමින් ව්‍යාජ ක්‍රිකින්ෆෝ පිටු පවා නිර්මාණය කර තිබිණි. එම පිටුව මෙතනින් බලන්න.
මෙම සබැඳියෙන් ප්‍රදීප් මැතිව් නම් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් වෙන් කරන ලද වෙබ් පිටුවට පිවිසිය හැකිය. ප්‍රදීප් මැතිව්ගේ මෙම විස්මිත පන්දු විස්තර හා රූපසටහන් පොතේ ද තිබේ.
තරිඳුගේ පොතෙහි ඉදිරි මුද්‍රණවලදී ඒ පිළිබඳ සැලකිලිමත් විය හැකිය. එසේම, මා සිතන පරිදි එය තවදුරටත් සංස්කරණය කර ඉංග්‍රීසියෙන් ප්‍රතිරචනයක් කළහොත් ජාත්‍යන්තර වෙළඳපොළක් සාදාගත හැකිය. ලංකාවේ ලේඛකයන්ට මේ දූපතේ හතර මායිමෙන් එපිටට සිතන්නට හැකි විය යුතුය.
ජීවිතයේ ඔයිල් පැල්ලම් යනු ලාංකීය සමාජ දේශපාලනික මනෝභාවයේ හරස්කඩකි. මා එසේ කියන්නේ සමාජ මනස මෙන්ම එම නවකතාව ද කුමන්ත්‍රණ න්‍යායයන්ගෙන් පිරී තිබෙන නිසාය. සාහිත්‍යයෙහි එය කිසිදු ආකාරයක ගැටලුවක් නොවේ. සාහිත්‍යය තිබෙන්නේ රසය පිණිසය. සෙසු කලාවන් තිබෙන්නේ ද ඒ සඳහාය. කූඹියෝ ටෙලි නාට්‍යය ද එවැනිය. එය යථාර්ථය යයි සිතීම පෝන් චිත්‍රපටිවල ශුක්‍ර ගැලුම් ගණන් පහවීම ඇත්ත යයි සිතනවා වැනිය. කූඹියෝ ටෙලි නාට්‍යයේ නළුවන් දේශපාලන වීරයන් යයි සැලකීම පෝන් චිත්‍රපටි සමග සන්සන්දනය කිරීම අපහාසාත්මක වන නිසා මම මෙතනින් නවතිමි.
එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ සමාජයට කූඹියෝ ටෙලිනාට්‍යයත්, යථාර්ථයත් පැටලී තිබිණි. එහි නිර්මාණකරුවා එයට වගකිව යුතු නැත. එහෙත්, කූඹියෝ නළුවන්ටත් තමන් කවුරු හෝ මාර පොරකැයි සිතෙන මානසිකත්වයක් පහළ වී තිබෙනු දක්නට හැකි විය. ඔයිල් පැල්ලම් නවකතාව ද කඩාවදින්නේ මේ කුමන්ත්‍රණ න්‍යාය කලා අවකාශයටයි. එය කුමන්ත්‍රණවලින් පිරිලාය. එහි තිබෙන බොහෝ මහා කුමන්ත්‍රණ යථාර්ථයේදී අභව්‍ය වන්නේ එම කුමන්ත්‍රණවල අරමුණු ඉතා සිල්ලර ඒවා නිසාය. කොටින්ම පරණ කාර් ලබාගැනීම වැනි ඒවා නිසාය.
ඒ වෙනුවෙන් තරිඳු නිර්මාණය කරන ෆැන්ටසිය විචිත්‍රය. එහෙත්, වතුර කොරහෙන් සූස් ගා පැන නහය කඩාගෙන කන කිඹුලන් තරමට කුමන්ත්‍රණ වැඩි වී එය තරමක් ගම්වල වෙසක් කාලයට කළු ඉටිරෙදිවලින් හදන හොල්මන් ගුහාවක තත්වයට පත්වී තිබේ.
තරිඳුගේ වික්‍රමය තිබෙන්නේ බස හැසිරවීමේ නව්‍යකරණය තුළයි. සුචරිත ගම්ලත් සූරීන් ජීවතුන් අතර සිටියා නම් හඩු බසකැයි කිව හැකි වුණත්, එය අප දැනට භාවිතා කරන කථන ව්‍යවහාරයේ අතිශයෝක්තියට නගන ලද ස්වරූපයකි. විශේෂයෙන්ම වාහන ඇසුරෙන් ඔහු නිර්මාණය කරන උපමා, රූපක, ප්‍රස්ථාව පිරුළු ආදිය මනරම්ය. මුළු කෘතිය පුරාම සදය උපහාසයක් රැඳෙන්නේ එහෙයිනි.
ඔයිල් පැල්ලමේ චරිත තරමක් විකාරරූපීය. දිනේෂ්, ඇන්ටනි, නෝලට් නැන්දා, රෝෂිණී, සමදරා, ලොන්ත හාමුලා හා ඇමති සමන්ත වැනි කවුරුත් එසේය. මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටා ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ඒකාකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය දෙයක් විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත.
රසවිඳිය හැකි නවකතාවක් නිර්මාණය කළ තරිඳු ශ්‍රී ලොකුගමගේට ස්තුතියි.