අල්ලස් අනුරුද්ධ පොල්ගම්පල කාගේ නිෂ්පාදනයක්ද?
අජිත් පැරකුම් ජයසිංහ
අනුරුද්ධ පොල්ගම්පලව මට හමු වූ පළමු හා එකම වතාව පැලවත්ත කඳවුරේදීය. මා උසස් පෙළ විභාගය සඳහා වීරවිල සිට පැලවත්තට පැමිණ සිටි සමයේ ලොකු පොලා නමින් හැඳින්වුණ මෙම පුද්ගලයා පැලවත්ත කඳවුරේ තරමක් පීචං චරිතයක් වී සිටියේය. එයට හේතුව ඔහුගේ ලිංගික නැඹුරුවකි. කඳවුරේ සිටි රැඳවියෝ එය හෙළා දුටුවහ. එකල ජවිපෙ කට්ටිය ලිංගිකත්වය ගැන සිතුවේ එසේය. දැන් එසේ නැත.
එහෙම හිටි පොල්ගම්පල 2004දී ජනතා විමුක්ති පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම මට යම් පුදුමයක් විය. අහක සිටි මෙවැනි පීචං (ලිංගික නැඹුරුව නිසා නොවේ. පහත දැක්වෙන හේතු මතය.) චරිත ජාතික විප්ලවීය නායකයින් ලෙස ඔසවා තබා රටට වසංගත නිර්මාණය කිරීමේ වගකීම ජවිපෙ භාරගත යුතුද? මගේ මතය නම් නැත යන්නයි. හේතුව කිසිදු පුද්ගලයකු වැදගත් නොවන අතර වැදගත් වන්නේ ප්‍රතිපත්ති වීමයි.
2008දී ඔහු තම සහායකයා ලෙස පවසමින් පුද්ගලයකු ජපානයට හොරෙන් ගෙන යන්නට ගොස් නරිටා ගුවන් තොටුපළේදී අසු වීම නිසා පක්ෂය ඔහුට ඉල්ලා අස්වන්නැයි කියන ලදී.
පසුව විමල් වීරවංශගේ, මහින්ද රාජපක්ෂගේ හා ඉන් පසුව මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු වූ පොල්ගම්පල දැන් ඉන්නේ කා සමගදැයි හරියට නොදනිමි.
ඔහු පැවති රාජපක්ෂ පාලන සමයේ උප කොන්ත්‍රාත් කරුවන්ට ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දෙන සමාගමක් පවත්වාගෙන යමින් වව්නියාව ප්‍රදේශයේ මාර්ග ඉදිකිරීම් හා අළුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා උප කොන්ත්‍රාත් කරුවන්ට කොන්ත්‍රාත් ලබා දී එම කොන්ත්‍රාත් කරුවන්ගේ මුදල් ගෙවීමේදී අගරු චෙක් පත් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ මැයි මාසයේදී වව්නියාව බන්ධනාගාරයේ මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
ඉන් පසු 2017 වසරේ ජුලි 15වැනිදා ද අනුරුද්ධ පොල්ගම්පලව මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ 75ක් මුදලක් වංචා කිරීමේ චෝදනා මතය.
කළු ගල් වැඩපොළක් පවත්වාගෙන යාමට යැයි පවසා එක් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35ක් ලබාගෙන ඇති අතර එම මුදලින් ලබාගත් යන්ත්‍ර පෙන්වා තවත් අයෙකු සමග ලක්ෂ 40ක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර එම දෙදෙනාටම අදාළ මුදල් වංචා කර තිබිණි.
2015දී ඔහු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීප වී සිටි අතර වරක් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස ද පත්කර ඔහුගේ දූෂිත ඉතිහාසය හේතුවෙන් වහා ඉවත් කරන ලදී.
කෙසේ වෙතත්, මේ මොහොත වන විට නම් ඔහු සිටින්නේ රිමාන්ඩ් භාරයේය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාට අල්ලසක් සම්බන්ධීකරණය කරන්නට ගියා යයි චෝදනාවක් ඔහුට එල්ල වී තිබේ.
රටකට ද වැදගත් වන්නේ පුද්ගලයන්ගේ පාරිශුද්ධත්වය ගැන විශ්වාස තැබීම නොව නීතිය ශක්තිමත් කිරීමයි. දූෂණ විරෝධී පනත හා එයට අදාළ සංශෝධන දැන් සිදුකර තිබේ. දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීමට දැන් ඔබට හැකිය.
දූෂණ සහ වංචා නැවැත්වීමට විධි විධාන ඇතුළත් දූෂණ විරෝධී පනත පසුගිය ජුලි 19 දින පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එහෙත්, එහි පැවති අඩුපාඩු නිසා ඉතා ඉක්මනින්ම එම අඩුපාඩු ඉවත් කර දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 8 වැනිදා සම්මත කරගැනීමට සිදු වුණා.
අමාත්‍යාංශ නිලධාරින්ට මෙන්ම, නීති කෙටුම්පත් කිරීම සඳහා තිබෙන නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුවටත් නීතියක් හරියට සම්පාදනය කරගන්නට බැරි වෙන එකත් රාජ්‍ය අකාර්යක්ෂමතාවේ ලක්ෂණම තමයි.
දූෂණයට මග සලසන්නෙ මේ අකාර්යක්ෂමතාව. නිති සම්පාදනයේ මේ ගැටලුව නිසා මාස ගණනක්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පත්කරගැනීමට නොහැකිව තිබුණා.
ලිංගික අල්ලස් ගැනීම , පෞද්ගලික ආයතන තුළ සිදුවන අල්ලස් මෙන්ම ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් ද මෙම නව පනත යටතේ විශේෂයෙන් ආවරණය කර තිබෙනවා.
නව නීතියෙන් ජනාධිපතිවරයාවත් වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතු පිරිස අතරට ඇතුළත් කර තිබෙනවා.
නිලධාරියෙක් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. සිය තනතුර ලද අවස්ථාවෙයි, වාර්ෂිකවයි මෙන්ම රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී සහ රැකියාවෙන් ඉවත් වී වසර දෙකකට පසුවත් වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබාදිය යුතුයි.
එසේම, තමන්ගේ වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතුයි.
මැතිවරණ අපේක්ෂකයෙකු නාම යෝජනා පත්‍රය සමගම වත්කම් හා බැරකම් ප්‍රකාශය ලබාදිය යුතුයි.
නව වත්කම් හා බැරකම් ප්රකාශනය ඉලෙක්ට්‍රෝනික පද්ධතියකට යොමු කිරීමට මෙන්ම නොමිළේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබා දෙන්නට ද නව නීතිය අනුව ප්‍රතිපාදන තිබේ.
පුද්ගලයන් වැදගත් නැත. වැදගත් වන්නේ නීති හා එම නීති ක්‍රියාත්මක වීමයි.