අයිඑම්එෆ් වානා! සුරංගනාවියක් තමයි ඕනා!
අජිත් පැරකුම් ජයසිංහ
“මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වය ඉහළ නැංවීම, තරඟකාරිත්වය සහ කලාපීය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල අවස්ථාවන් ද මම දැක්කා. ශ්‍රී ලංකාවට ප්‍රකෘතිමත් වීමේ ගමනට, ගොවීන් වෙළඳපොළට සම්බන්ධ කිරීමට, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීමට, නවෝත්පාදනයන් ඉහළ නැංවීමට, යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජන හරහා පරිවර්තනයක් හඹා යාමට සහ කාන්තාවන්ට සහ තරුණයින්ට ගුණාත්මක රැකියා උත්පාදනය කිරීමට ලෝක බැංකුව අඛණ්ඩව සහාය වනු ඇත.” මෙසේ කීවේ ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින්.
මේ දිනවල ශ්‍රි ලංකාව අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි කැරැල්ලකට මැදිවෙලා ඉන්න බව කිව හැකියි. වැඩි පඩි ඉල්ලා, විදුලි හා තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ, වර්ජන පැවැත්වේ. මේ අතර රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා කටයුතු කරන, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය මෙතෙක් ගත් කිසිදු ක්‍රියාමාර්ගයකට වචනයකින් හෝ සහයෝගයක් නොදුන් ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ජයග්‍රහණයක් අරමුණු කරමින් දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාමාලාවක් ද දියත් කරමින් ඇත. මැතිවරණ කිසිවක් කැඳවා නොමැති නමුත්, ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත මැතිවරණවලින් ජයගත් ජයග්‍රාහී මානසිකත්වයකින් යුක්තව ජවිපෙ කටයුතු කරමින් සිටින බව දක්නට ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවති ජන හමුවකදී ජාතික ජන බලවේගයේ හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය. “පලස්තීන – ඊශ්රායල ගැටුමට ඉරානය අවිආයුධ සහිතව මැදිහත් වුණොත් ලෝකයේ නැවත විශාල ගැටුමක් ඇති වෙනවා. රනිල් වික්රමසිංහ කියනවා පලස්තීන-ඊශ්රායල් යුද්ධය හේතු කොටගෙන අනාගතයේ තෙල් මිල ඉහළ යා හැකියි කියලා. අපට ලෝකයේ වසංගත වළක්වන්න බැහැ. යුද්ධ වළක්වන්න බැහැ. මහා මූල්ය කඩා වැටීම් වළක්වන්න බැහැ. ලෝකයේ වසංගත, යුද්ධ, මූල්ය කඩාවැටීම් ඇති වෙනකොට එයට ඔරොත්තු දෙන ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. අපේ රටේ සම්පත්, අපට අත්පත් කර ගත හැකි වෙළෙඳපොළ, අපේ තිබෙන කළමනාකරණය, තාක්ෂණය ඒකාබද්ධ කර ගත් නව වෙළෙඳපොළක් සොයාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොමු විය යුතුයි. මේක තමයි අපේ ආර්ථිකය. නොසැලෙන ආර්ථිකයක්. ඔරොත්තු දෙන ආර්ථිකයක්. ‘එක්සත් ජනපදයට කිවිසුමක් ගියොත් අපට හෙම්බිරිස්සාව හැදෙනවා. එහෙට හෙම්බිරිස්සාව හැදුණොත් අපට නියුමෝනියාව හැදෙනවා’ ඒක තමයි දැනට අපේ ආර්ථිකයේ ඉරණම. ඒත් චිනෙට, දකුණු කොරියාවට, මැලේසියාවට, වියට්නාමයට වෙන්නේ නැහැ. ඒ රටවල් ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් කොටසක් අත්පත් කරගෙන තිබෙනවා. වර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. අපි ක්රමිකව හරිම තැන් ටික තෝරාගෙන වේගවත්ව, පසුවිපරම් කරමින් නිරන්තරයෙන් ආර්ථිකය මෙහෙය විය යුතුයි”
එම සභාවේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජවිපෙ නායකයා පවසන අදහසින් තේරුම් ගත හැක්කේ අනාගත ජවිපෙ ආණ්ඩුවක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මේ අන්දමින් ක්‍රියාත්මක නොකරනු ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ වැඩසටහනේ මූලික අරමුණක් වන්නේ ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයකට ගෙන ඒමයි.
ප්‍රාථමික ගිනුමේ ශේෂය යයි කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණය පොලී ගෙවීම් හැර සෙසු රාජ්‍ය වියදම අතර වෙනසයි. ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන රාජ්‍ය වියදම පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වාගත හැකි නම් ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයකැයි කියනු ලැබේ. (ප‍්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂය = විදේශ සාධක ලැබීම් – විදේශ සාධක ගෙවීම්)
යහපාලන ආණ්ඩුව පැවති සමයේ මංගල සමරවීර මුදල් ඇමති ධුරයේ කටයුතු කරද්දී මෙම තත්වය අත්පත් කරගැනීමට රජය සමත්විය. 2017, 2018 යන වසර දෙකේම ප්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂයක් වාර්තා විය. ප‍්‍රාථමික ශේෂයේ අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් ලෙස 2017 වසරේ 0.025ක් (රුපියල් බිලියන 2.1) වූ අතර 2018 වසරේදී 0.6% (රුපියල් බිලියන 91.4ක්) දක්වා වැඩි විය.
2018 වසරේ රජය ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් වාර්තා කළේ රාජ්‍ය ආදායම් අඩු වීම මධ්‍යයේය. මෙම තත්ත්වය ළඟාකර ගැනීම සඳහා ප‍්‍රාග්ධන වියදම්හි සිදුවූ පහළ යෑම උපකාරී විය.
රාජ්‍ය ආදායම් යනු බදු අය කිරීම් වේ. ඒ අනුව රජයට බදු ආදායම් ඉහළනංවා ගැනීමට අනිවාර්යයෙන් සිදුවේ. ඒ සඳහා ඇති ප්‍රධානම මාර්ගය බදු ය. 2024 සිට වක්‍ර බද්දක් වන වැට් 18% දක්වා වැඩි කරන බව රජය නිවේදනය කර ඇත. ලංකාවේ සමස්ත සමාජයම බදු ගෙවීමට විරුද්ධය. ආණ්ඩු බලය දිනාගෙන ඇති සේ කටයුතු කරන ජාතික ජන බලවේගය බදුවලට උග්‍ර ලෙස විරුද්ධය. වැඩි ආදායම් බදු ගෙවීමට සිදු වී ඇති ඉහළ ආදායම් ලබන වෘත්තිකයන්ගේ සටන්වලට ජාතික ජන බලවේගය නායකත්වය දෙන බවක් පෙනේ. කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් අඩුකිරීම පිළිබඳ කිසිවෙකු එඩිතරව කතාකරන්නේ නැත. රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා බොහෝ අය යෝජනා කරන්නේ ඇමති මණ්ඩලය අවම කිරීම හා දූෂණය නැතිකිරීම වැනි කාරණාය. අනුර කුමාර දිසානායක ලොස් ඇන්ජලීස්හිදී මහත් අත්පොළසන් මධ්‍යයේ පැවසූ කරුණක් වන්නේ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන බවයි. එමගින් යම් රාජ්‍ය වියදම් අඩුවීමක් සිදුවන බව සැබෑය. එහෙත්, එය ප්‍රමාණවත්ද?
ඛණිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ආයතන 05 ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් 2006 වසරේ සිට 2020 වසර දක්වා ලැබූ පාඩුව රුපියල් ට්‍රිලියන 1.2ක් බව අනාවරණය විය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි. ජනගහනයෙන් සෑම 15කටම එක් අයෙකු රජයේ සේවකයකු යයි කියැවේ.
ලක්ෂ පහකට වැඩි රජයේ විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායන්ගේ සේවකයන් ද එකතු කළ විට රටේ ජනගහනයෙන් සෑම දහදෙනෙකුගෙන්ම එක් අයෙකු ඍජුවම රජයෙන් යැපෙන්නෝය. ඔවුන්ගෙන් යැපෙන්නන් ද ගණනය කළ විට රටේ ජනගහනයෙන් 30%ක්වත් ඍජුවම යැපෙන්නේ රජයෙනි.
රජයේ සේවකයන්ට වැටුප් වැඩි වීමක් ලබා දෙන බව මේ වන විට ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇත. එහෙත්, රු. 20,000ක අවම වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ආරම්භ කර ඇත. අනාගතයේ ආණ්ඩුවක් පිහිටුවීමට පුල පුලා බලා සිටින ජාතික ජන බලවේගය ද එම ඉල්ලීමට සහාය දක්වන බව පෙනේ. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමත් සමග ප්‍රාථමික ගිනුමේ ශේෂයට සහ ණය තිරසරභාවයට කුමක් සිදුවේද යන්න අපැහැදිලිය. කෙසේ වෙතත්, ඉදිරි වසර මැතිවරණ වර්ෂයක් නිසා සියලු දේශපාලන බලවේග ජනප්‍රියවාදය පසුපස යනු ඇත.
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම පිළිබඳ ෆැන්ටසිමය අදහස් හැර යථාර්ථවාදී, ප්‍රායෝගික අදහසක් මෙතෙක් ඉදිරිපත් නොකර තිබුණු, අනාගත ආණ්ඩුව වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත නොවන බව ද ඒවා නැවත සාකච්ඡා කරන බව ද එහි නායක අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේදි පැවසීය.
ඔහුගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ආපසු නොගෙවීමට ඉඩ ඇති බවක් අඟවන ප්‍රකාශයක් ද ඔහු සිදු කළේය. ඔහු කියන පරිදි ලංකාව බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ප්‍රධාන ද්වි පාර්ශ්වීය ණය පිළිබඳව චීනය හා ජපානය සමග සාකච්ඡා කළ යුතුව තිබුණි. මෙය වර්තමාන රජය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා දරණ වෙහෙස මුළුමනින්ම අවතක්සේරු කරන කතාවකි.
ජාතික ආණ්ඩු විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කරන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, අයවැය හිඟය සහ පවතින ණය ප්‍රතිමූල්‍යකරණය වැනි විවිධ අරමුණු සඳහා ප්‍රාග්ධනය රැස් කිරීම සඳහායි. ISB නිකුත් කිරීම සාමාන්‍යයෙන් කළමනාකරණය කරනු ලබන්නේ ප්‍රබල ආයෝජන බැංකු සමූහයක් මගිනුයි. ඔවුන් බැඳුම්කර සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට සහ ඒවාට සුදුසු මිල නියම කිරීමට රජයන්ට උපකාර කරන අතර පහත දැක්වෙන්නෙ එවැනි බැංකු කීපයක්.
Citigroup
Goldman Sachs
JPMorgan Chase
Morgan Stanley
UBS
මේ ණය ගෙවීම පැහැර හැර විට රටක් බංකොලොත් ලෙස සැලකේ. ජාත්‍යන්තර ණය දර්ශකවල පහළටම ඇද වැටේ. තවදුරටත් ණය ගන්නට බැරි වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සංවිධානවල සම්බාධකවලට ද රට යටත් විය හැකියි. වෙළඳාම සහ ආයෝජන සීමා කිරීම් මෙම සම්බාධකවලට ඇතුළත් විය හැකිය. ආයෝජක විශ්වාසය ද නැති වී යන අතර ජාතික ජන බලවේගය අපේක්ෂා කරන ආකාරයේ ඔවුන් කැමති අන්දමේ ආයෝජකයන් පමණක් කැඳවා ගැනීමේ හැකියාව අතිශය සැක සහිතය.
ISB ණය නොගෙවන රටවලට විශාල අපකීර්තියක් ඇති වේ. ගමේ ගොඩේ වුණත්, අනුන්ගෙන් ණය අරගෙන නොගෙවා ඉන්න මිනිසුන්ට කිසිදු පිළිගැනීමක් නැත. 1999 සිට ගත් ණයවලින් 74%ක් වැය වී ඇත්තේ පොළී ගෙවීමට හා විනිමය අනුපාතික වෙනස් වීම හේතුවෙන් ඇති වන පාඩු පියවා ගැනීමට බව පසුගියදා ඇඩ්වොකාටා ආයතනය පෙන්වා දුන්නේය.
ණයවලින් කොටසක් ගෙවීම ප්‍රතික්ෂේප කර සෙසු ණය විතරක් ගෙවාගෙන යාමට හෝ ප්‍රතිව්‍යූහගත කරගැනීමට හැකි යයි සිතීම හිතලුවකි. චීනය වැනි රටක් නම් සමහර විට මේකට කැමති විය හැකිය. තමන්ගේ ණය ආපසු ගෙවන්නට ඔවුන් දැනටත් අලුත් ණයක් දෙන්නට එකඟ වී ඇති බව පෙනේ. ලංකාවට ඇති එකම පිහිට චීනය පමණක් වුවහොත්, ශ්‍රී ලංකාවට චීනයට දැඩිව යටත් වීමට සිදු විය හැකිය.
ලෝක ප්‍රසිද්ධ බංකොලොත්භාවයකට පත් වූ ග්‍රීසිය දැනුත් තමන් නොගෙවා පැහැර හැරි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවමින් සිටින අතර ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ ගිහින් දැන් නැවතත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ණය ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම සම්පූර්ණයෙන්ම පැහැර හැරියොත් ආයෝජන ආරවුල් විසඳීම සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICSID) වැනි ජාත්‍යන්තර උසාවිවල ISB ණය ගෙවීම පැහැර හරින රටවලට එරෙහිව නඩු පැවරිය හැකිය. බැංකු නඩු දිනුවොත්, ණය පැහැර හැර ඇති ISB ප්‍රමාණය සහ පොලී සහ නෛතික ගාස්තු අය කරගැනීමට ඔවුන්ට හැකිය.
ඒ වන්දිත් ගෙවන්නේ නැතිනම් රටවල වත්කම් අත්පත් කර ගැනීම දක්වා යන්නට ද ඔවුන්ට හැකිය. ISB ණය ආපසු ගෙවීම පැහැර හරින රටවල බැංකු ගිණුම්, රජයේ ගොඩනැගිලි සහ විදේශ විනිමය සංචිත වැනි වත්කම් බැංකුවලට අත්පත් කර ගත හැකිය.
උදාහරණයක් ලෙස, 2018 දී, Aurelius Capital Management විසින් එක්සත් ජනපද ෆෙඩරල් උසාවියේ වෙනිසියුලාවට එරෙහිව නඩු පවරා ඩොලර් මිලියන 600ක වන්දියක් දිනාගත් අතර නඩුව තවමත් අවසන් නැත. Aurelius Capital Management විසින් වෙනිසියුලාවේ වත්කම් අත්පත් කර ගැනීමට උත්සාහ කරයි.
එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය රටවල් කිහිපයක් වෙනිසියුලාව සමඟ ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා එරට රජයට සම්බාධක පනවා තිබේ. කෙසේ වෙතත්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් වෙනිසියුලාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දිගටම පවත්වාගෙන යයි.
ඇමරිකානු ජනපද සංවිධානය (OAS) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන කිහිපයක වෙනිසියුලාවේ සාමාජිකත්වය ද අත්හිටුවා ඇත. කෙසේ වෙතත්, වෙනිසියුලාව නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයෙකි.
ලංකාවේ ආර්ථික යථාර්ථයට මුහුණ දීම වෙනුවට ලෝක වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් ලංකාවේ තෙල්, විදුලිය ලබාදෙන ලෙස ඉල්ලා පළිගැසීමේ සිට, රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීම හරහා ගත් ණය ආපසු නොගෙවීම දක්වා බාල ජනප්‍රිය දේශපාලන සටන් පාඨ වේදිකාවල තොරොම්බල් කරමින් තිබේ. මේ සියල්ල බලය වෙනුවෙනි. එහෙත්, බලය ලබාගත්තාට ඒ අන්දමින් ප්‍රශ්න විසඳීමට නම් සිතූ පැතූ සම්පත් දෙ සුරංගනාවියක ද අවශ්‍ය වනු ඇත.