ආර්ථිකයද? අනුරද? සජිත්ද?
– අජිත් පැරකුම් ජයසිංහ
2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි.
සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක් වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය.
මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොළිය හා වාරික ලෙස රු. බිලියන 1,500 ට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතු විය.
2022 වසරේ දී රජයේ වියදම රු. බිලියන 4,500ක් පමණ වූ මුත් ආදායම රු. බිලියන 2,000 ටත් අඩුය.
විදේශ ණය ලබාගැනීමේ හැකියාවක් නොමැති නිසා හිඟය පියවා ගන්නට ඇත්තේ දේශීයව තව දුරටත් ණය ගැනීම මගිනි. වෙනත් ක්ෂණික විසඳුමක් නැත.
දීර්ඝ කාලීනව කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය අයවැය පරතරය අඩු කරගැනීමයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් හෙවත් බදු ආදායම වැඩි කරගත යුතුය. රාජ්‍ය වියදම් අඩු කරගත යුතුය. රාජ්‍ය වියදම් අඩු කිරීමේදී අනවශ්‍ය රාජ්‍ය සේවකයන් ඉවත් කිරීම, රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීම, රාජ්‍ය ව්‍යවසාය පාඩු නොලැබීම, දූෂණය හා නාස්තිය අවම කිරීම අත්‍යවශ්‍යය.
2022 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 36 ක විදේශ ණය බරක් තිබිණි.
එයින් 37% ක් ඉදිරි වසර කිහිපය තුළ ගෙවිය යුතු අතර 51% වසර හයේ සිට 20 දක්වා කාලය තුළ ගෙවිය යුතුය. 12%ක් වසර 20 කට පසුව පවා ගෙවිය යුතුය.
මේ ණය ගෙවීමේ ජාතික වැඩපිළිවෙළක් කුමන ආණ්ඩුව තිබුණත් අනුගමනය කළ යුතුයි. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් වී මිනිසුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. රජය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට උත්සාහ කරන අතර නිදහසින් පසු රට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් සෙමින් නමුත් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ස්ථාවරත්වය සහ ජනතාවගේ සුබසාධනය සහතික කරයි.
මේ සියල්ල මැදින් රට තිරසරව සංවර්ධනය නොවුණහොත් ලංකාව නැවත නැවත බංකොලොත් වීමවත් වළක්වාගත නොහැකිය.
දැනට කරගෙන යන ආර්ථික වැඩසටහනෙහි මූලික ඉලක්කය වන්නේ ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයකට ගෙන ඒමයි. 2022 වසරේ ප්‍රාථමික ගිණුමේ සියයට 4.5 – 5 ක පමණ හිඟයක් වූ බවක් පෙනේ.ප්‍රාථමික ගිනුමේ ශේෂය යයි කියන්නේ රජයට ලැබෙන ප‍්‍රදාන ඇතුළුව සමස්ත රාජ්‍ය ආදායම සහ ණය පොලී ගෙවීම් හැර සෙසු රාජ්‍ය වියදම අතර වෙනසයි. ණය පොලී ගෙවීම් ඉවත් කර ගණනය කරනු ලබන රාජ්‍ය වියදම පියවා ගැනීමෙන් පසු ආදායමේ අතිරික්තයක් පවත්වාගත හැකි නම් ප්‍රාථමික ගිනුමේ ශේෂය අතිරික්තයකැයි කියනු ලැබේ. (ප‍්‍රාථමික ආදායම් ගිනුමේ ශේෂය = බාහිර ලැබීම් – බාහිර ගෙවීම්)
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954 වසරේ දීය. එය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් ලෙසිනි. පසුව 1956 වසරේ දී ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2%ක අයවැය අතිරික්තයක් වාර්තා විය. 1950 සිට 1970 දක්වාත්, 1973 සිට 1993 දක්වාත් අයවැය ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා විය. එහෙත් 1994 සිට තත්වය වෙනස් විය. අයවැය පරතරය, ජංගම ගිණුමේ පරතරය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ පරතරයේ ද ඍණ අගයක් එම කාලවල අඛණ්ඩව පැවැතිණි.
යහපාලන ආණ්ඩුව පැවති සමයේ මංගල සමරවීර මුදල් ඇමති ධුරයේ කටයුතු කරද්දී මෙම තත්වය අත්පත් කරගැනීමට රජය සමත්විය. 2017, 2018 යන වසර දෙකේම ප්‍රාථමික ගිනුමේ ශේෂයක් වාර්තා විය. ප‍්‍රාථමික ශේෂයේ අතිරික්තය, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප‍්‍රතිශතයක් ලෙස 2017 වසරේ 0.025ක් (රුපියල් බිලියන 2.1) වූ අතර 2018 වසරේදී 0.6% (රුපියල් බිලියන 91.4ක්) දක්වා වැඩි විය. මෙය 2%ක් දක්වා නංවාගැනීම කළ නොහැක්කක් නොවේ. එසේ නොකර වෙන කළ හැකි දෙයක් ද ලංකාවට නැත. ඒ වෙනුවෙන් මනා ආර්ථික කළමනාකරණයක් අවශ්‍යය. ජනප්‍රියවාදයන්ට යට වන්නන්ට කළ හැකි දෙයක් නැත. ජනප්‍රියත්වය ඔස්සේ විනාශයට මිස සාර්ථකත්වයට මාර්ග නැත. ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ බුද්ධියෙන් හා කැප කිරීමෙන් මිස ආවේගවලින් නොවේ.
ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්නට නම්, වර්තමාන ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල අනුගමනය කළ යුතුය. එහි අඩුපාඩු තිබේ නම් නිවැරදි කරගත යුතුය. වෙනත් විකල්ප තිබේ නම් කිව යුතුය. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස වැනි අනාගත නායකයන් වීමේ විභවය ඇති කිසිවෙකු විකල්පයක් ඉදිරිපත් කර නැත. ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති නම්, මෙම වැඩසටහන ඉදිරියට ගෙන යන බව කිව යුතුය. ඔවුන් එසේ කියන්නේ ද නැත. එය නායකත්ව පෞරුෂයේ ගැටලුවකි. එවැනි නායකයන්ට මෙවැනි දුෂ්කර සමයක රටවල් භාර දීම නොකළ යුතු දෙයකි.