Ranil IMF cartoon

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයට වඩා වටිනා ප්‍රතිසංස්කරණ වැඩසටහන

අජිත් පැරකුම් ජයසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම දිරිගැන්වීම මෙම ණය මුදලෙහි ප්‍රධාන අරමුණයි.

ශ්‍රී ලංකා රජය දීර්ඝ කාලයක් තිස්සේ ණය ආපසු ගෙවීමේ හැකියාව ගැන ගැඹුරු සැලකිල්ලකින් තොරව ණය ලබාගත් බව කවුරුත් දන්නා කරුණකි. එහි ප්‍රතිඵලයක් වන විට ඩොලර් බිලියන 80කට වැඩි දේශීය හා විදේශීය ණය බරක රජය හිර වී තිබේ. විදේශීය ණය ගෙවීම 2022 වසරේදී පැහැර හැරීමට සිදු වූ අතර මේ වන විට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අවසාන අදියරට පැමිණ තිබේ.

දේශීය ණය ප්‍රශස්ත කිරීම අවසන් කර තිබේ. චයිනා එක්සිම් බැංකුව සමඟ තාවකාලික කොන්දේසිවලට එකඟ වී ඇත. දැන් අවධානය යොමු වී ඇත්තේ අනෙකුත් නිල ණය හිමියන් වන පැරිස් සමාජය හා බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කර සම්මුතියකට පැමිණීමයි. බැඳුම්කර හිමියන් මේ වන විට 20% ක කප්පාදුවක් සහ පැරණි බැඳුම්කර නව බැඳුම්කරයකට හුවමාරු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ උපදේශක ලසාඩ් සමාගම  බැඳුම්කර හිමියාගේ යෝජනාව සෙසු යෝජනා සමග සන්සන්දනාත්මකව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ පැවසීය. ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී සියලු පාර්ශ්වවලට සමාන අන්දමින් කටයුතු කිරීම මූලික මූලධර්මයකි.

පසුගිය සැප්තැම්බර් 14 දින ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි දුර්වලතා සහ අවදානම්සහගත තත්වයන් නිරීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් සිදු කළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් නිකුත් කරන ලදී.  මේ වන විට ලංකාවේ සිවිල් සමාජයෙහි අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ.

මොරොක්කෝවේ මරාකේෂ්හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පැවති ‘ආර්ථික ප්‍රකෘතිය සඳහා දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකා සිවිල් සමාජ මුලපිරීම’ යන තේමාවෙන් යුතු වැඩසටහනකදී විශේෂඥයන් විසින් ශ්‍රී ලංකාවේ පාලන ප්‍රතිසංස්කරණවල අත්‍යවශ්‍යභාවය අවධාරණය කරන ලදී. දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහනේ ඉලක්ක ප්‍රමාණවත් නොමැති බව ද එක් විශේෂඥයකු විසින් පෙන්වා දෙන ලද අතර, එමගින් ශ්‍රී ලංකාව තවත් ණය පැහැර හැරීමකට මග සැකසිය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

තොම්සන් රොයිටර් ආයතනයේ ජෝර්ජලිනා ඩෝ රොසාරියෝ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී කතා කළ ගෝලීය ස්වෛරී උපදේශන ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක තියෝ මාරෙට් පෙන්වා දුන්නේ එම ඉලක්ක උන්නතිකාමී නොවන ඒවා බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවිධ තිරසාර ආකෘති සහ සැම්බියාව වැනි රටවල් සඳහා සකස් කර ඇති ඉලක්ක සංසන්දනය කරමින් ඔහු පැවසුවේ, විශේෂයෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය නැවත ඇගයීම අවශ්‍ය බවයි. බාහිර ණය සඳහා වෙනම වැඩසටහන් ඉලක්ක තැබීමේ වැදගත්කම අවධාරණය කළ තියෝ මාරෙට් ගෙවුම් ශේෂ දුෂ්කරතාවලට මුහුණ දෙන මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා IMF විසින් භාවිතා කරන වෙළඳපල ප්‍රවේශ ආකෘතිය සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට සහභාගී වූ වෙරිටෙ රිසර්ච් ආයතනයේ ආචාර්ය නිශාන් ද මැල් හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නදීශානි පෙරේරා ශ්‍රී ලංකාවේදී යම් දුරකට රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩිව විවේචනය කරන අයයි. ශ්‍රී ලංකාව සිය ආදායමෙන් 70%කට වඩා වැඩි මුදලක් පොලී ගෙවීම සඳහා වෙන් කිරීම ලෝකයේ ඉහළම අගය වන බව ආචාර්ය නිශාන් ද මෙල් පෙන්වා දුන්නේය. මෙම අගය අනුපාතය අඩු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, වත්මන් ගමන් පථය මත පදනම්ව, දැනට පවතින සාකච්ඡා ඔස්සේ වුවද, ශ්‍රී ලංකාව එය 50% ට වඩා අඩුවෙන් සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉඩ නොමැති බව ඔහු පැවසීය.

ඒ අතරම, ශ්‍රී ලංකාව තුළ ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීමේදී IMF වැනි ජාත්‍යන්තර ආයතනවලින් ප්‍රතිඵල කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් අනුගමනය කිරීම සහ පාලන බැඳීම් අවධාරණය කිරීම අවශ්‍ය බව ඔහු පැවසීය. උදාහරණයක් ලෙස, මුල්‍ය විනිවිදභාවයේ වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීමෙහි අසම්පූර්ණබව ඔහු පෙන්වා දුන්නේය. එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ පදනම් ගැටලු විසඳීම සඳහා තීරණාත්මක සහ ප්‍රධාන වනු ඇතැයි ඔහු සඳහන් කළේය. සහනදායී පාලන බැඳීම් හේතුවෙන් පැන නගින සදාචාරාත්මක අනතුරුදායක තත්ත්වයන් වැලැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආචාර්ය ද මෙල් ඉල්ලා සිටි අතර, විනිවිදභාවයෙහි වැදගත්කම අවධාරණය කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ 16 ද විනිවිදභාවය කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු කර තිබේ. සැප්තැම්බර් 15 සිට ක්‍රියාත්මක දුෂණ විරෝධී පනතේ විධි විධාන මෙහිදී ඉතා වැදගත්ය. එහි අල්ලස් පිළිබඳ නිර්වචනය තුළට ලිංගික අල්ලස් ගැනීම මෙන්ම පෞද්ගලික ආයතන තුල සිදුවන අල්ලස් හා ක්‍රීඩා ඉසව් සම්බන්ධ වන අල්ලස් ද ඇතුළත් වීම විශේෂ වේ. නව නීතියෙන් වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවට රටේ ජනාධිපතිවරයාව ද ඇතුලත් කර තිබේ. එසේම, නිලධාරියෙකු සිය වත්කම් හා බැරකම් ප්‍රකාශන ලබා දිය යුතු අවස්ථා සංඛ්‍යාව වැඩි කර තිබේ. සේවයෙන් ඉවත් වීමෙන් කලකට පසුව පවා වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුව තිබේ. වත්කම් රුපියල් මිලියන 10ක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක වෙනසක් වෙනවා නම් ඒ අවස්ථාවේදී විශේෂ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුය. මැතිවරණ අපේක්ෂකයෙකු නාම යෝජනා පත්‍රයත් සමගම වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු අතර නව ක්‍රමය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශනෙ ඉලෙක්ට්‍රෝනික පද්ධතියකට යොමු කර නොමිළේ මහජනතාවට එය බැලීමට අවස්ථාව ලබා දිය යුතුය.

2024 ජූලි මාසය වන විට දූෂණ විරෝධී පනතට අනුව නම් කරන ලද වෙබ් අඩවියක ඉහළ නිලධාරීන් (ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්) සම්බන්ධ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ යුතුය.

රටින් පිට කර තිබෙන, සොරකම් කරන ලද හෝ අපරාධ වලින් උපයා ගත් දේපළ නැවත ගෙන ඒම සම්බන්ධයෙන් වෙනම නීතියක් 2003 සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තියේ (UNCAC) හා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ප්‍රමිතීන්ට සමපාත වන අන්දමින් 2024 අප්‍රේල් මාසය වන විට ගෙන ආ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබේ.

රාජ්‍ය සම්පත් අධීක්ෂණය නිසි පරිදි නොකරන නිලධාරීන්ගෙන් අධිභාර අය කිරීම ද නිර්දේශයකි. සමස්තයක් ලෙස ගත් කල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ  රාජ්‍ය නිලධාරීන්ට හා දේශපාලකයන්ට මෙන්ම පෞද්ගලික අංශයට ද අදාළ වේ. මෙම යෝජනා අතර විශේෂ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ අරමුණින් අධිකරණ සේවා කොමිෂන් සභාව සතුව මේ වන විට තිබෙන සම්පත් සහ කුසලතා තවදුරටත් පුළුල් කළ යුතු බව නිර්දේශ කර තිබීමයි. රජයෙන් අයථා වාසි ලබන බලවේග රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා ගන්නා ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව නීතියේ සිදුරුවලින් රිංගා බාධා සිදුකිරීම වැළැක්වීම සඳහා අධිකරණ පද්ධතියේ ධාරිතා ගොඩනැගීම වැදගත්ය. මෙම කරුණ නිදසුනකින් දක්වන්නේ නම්, මගීන් සූරාකමින් දිගු කලක සිට ක්‍රියාත්මක වන ගුණාත්මකභාවයෙන් පහළ ඊනියා අර්ධ සුඛෝපභෝගී බස් සේවය සාමාන්‍ය සේවයක් බවට පත් කිරීමට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ගත් තීරණය මෙවර ද වළක්වා ගත්තේ අභියාචනාධිකරණ වාරණයක් ඔස්සේය. එමගින් නිරූපණය වූයේ ප්‍රතිසංස්කරණ හා අයිතිවාසිකම් අතර යහපත් තුලනයක් නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ 16 මෙසේය:

1. අල්ලස් කොමිසම පත් කිරීමට විශේෂඥ කමිටුවක්
2023 නොවැම්බර් වන විට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කිරීමට සහාය වීම සඳහා, දූෂණ විරෝධී ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පිහිටුවන ලෙස පළමු නිර්දේශයේ සඳහන් ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබා දී ඇති කෙටි කාලීන නිර්දේශයක් වන අතර එහි අරමුණ වන්නේ වගවීම ශක්තිමත් කිරීම හ විනිවිදභාවය ඉහළ දැමීමයි.

2. ජනාධිපති ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීම
2024 ජූලි මාසය වන විට දූෂණ විරෝධී පනතට අනුව නම් කරන ලද වෙබ් අඩවියක ඉහළ නිලධාරීන් (ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්) සඳහා වත්කම් ප්‍රකාශ නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නිර්දේශ කර ඇති අතර, එය ද කෙටි කාලයක් තුළ ඉටු කළ යුතු කාර්යයකි. එහි අරමුණ වන්නේ ද වගවීම හා විනිවිදභාවය ශක්තිමත් කිරීමයි.

3. නව මූල්‍ය අපරාධ නීති සකස් කිරීම
2003 සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තියේ (UNCAC) හා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ප්‍රමිතීන්ට සමපාත වන අන්දමින් 2024 අප්‍රේල් මාසය වන විට වංචා දූෂණ මෙන් ම, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම අපරාධ බවට පත්කරන නව අපරාධ නීති සකස් කිරීමට IMF වාර්තාවෙන් අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති අතර, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම හා වගවීම ඉහළ දැමීම එහි අරමුණයි.

4. රාජ්‍ය සම්පත් අධීක්ෂණය නොකරන නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න.
රාජ්‍ය සම්පත් පරිහරණය සම්බන්ධයෙන් අධීක්‍ෂණය සහ වගවීම පිළිබඳ වගකීම නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වන ප්‍රධාන ගිණුම් නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් අධිභාර (Surcharge) අය කිරීමට විගණකාධිපතිවරයාට හැකිවන පරිදි ජාතික විගණන පනත සංශෝධනය කර රාජ්‍ය වත්කම් පාලනයේ විනිවිදභාවය කෙටි කාලයක් තුළ ඉහළ නංවන ලෙස සිවුවන නිර්දේශයට විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා නම් කර තිබේ.

5. සමාගම්වල ප්‍රතිලාභ හිමිකරගන්නන්ගේ ලේඛනයක් සකස් කිරීම.
දැනට සමාගම් පනතේ අඩුපාඩුවක්ව පවතින, සමාගම්වල ප්‍රතිලාභයේ හිමිකාරීත්වය (Beneficial Ownership) සම්බන්ධ නීතී සකස්කර හෝ වෙනස් කර, 2024 අප්‍රේල් වන විට එම ප්‍රතිලාභ හිමිකරුවන්ගේ ප්‍රසිද්ධ ලේඛනයක් සකස් කිරීමට මෙයින් යෝජනා කර තිබේ. එය කර්මාන්ත අමාත්‍යංශය විසින් කෙටි කාලයක් තුළ ඉටු කළ යුතු වගකීමක් වන අතර වගවීම හා විනිවිදභාවය ඉහළ දැමීම එහි අරමුණයි.

6. නව රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් සකස් කිරීම
මුදල් අමාත්‍යංශය විසින් 2024 දෙසැම්බර් වන විට, එය භාවිත කිරීමේ දී යහපත් යැයි පිළිබිඹු කෙරෙන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් සකස් කර රාජ්‍ය මුදල් පරිපාලනයේ විනිවිදභාවය ඉහළ දැමිය යුතු බව වාර්තාවේ ඇති මධ්‍ය කාලීන නිර්දේශයකි.

7. 2022 අඩුම ටෙන්ඩර් අනුපාතික ඇති නියෝජිතායතන වල ප්‍රගතිය වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම
2022 දී අඩුම මට්ටමේ තරඟකාරී ටෙන්ඩර් ඇති බවට තීරණය කර ඇති නියෝජිතායතන 10 හි තරඟකාරී ටෙන්ඩර් කරන ලද ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවල අනුපාතය වැඩි කිරීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2024 දෙසැම්බර් මාසයේ දී නම් කරන ලද වෙබ් අඩවියක පළ කළ යුතුයැයි මෙම යෝජනාවෙන් අදහස් වේ.

8. ප්‍රසම්පාදන හා මූල්‍ය ප්‍රතිලාභ ලැයිස්තු ප්‍රසිද්ධ කිරීම
2024 සිට නම් කරන ලද වෙබ් අඩවියක, මුදල් අමාත්‍යංශය විසින් පහත තොරතුරු මාස හයකට වරක් යාවත්කාලීන වන ලෙස ප්‍රසිද්ධ කරන ලෙස මෙම නිර්දේශයෙන් මුදල් අමාත්‍යංශයට යෝජනා කරයි.

රුපියල් බිලියන 1 ට වැඩි සියලුම පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, කොන්ත්‍රාත් ලබගත් අය පිළිබඳ සෙවිය හැකි ආකෘතියකින් සවිස්තරාත්මක තොරතුරු
ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ 2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු නිදහස් කිරීම් ලබන සියලුම සමාගම් ලැයිස්තුවක් සහ බදු නිදහස් කිරීමේ වටිනාකම තක්සේරු කිරීමේ තොරතුරු.
සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් ලබන සමාගම් ලැයිස්තුවක්.
මෙය විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් කෙටිකාලීන හා මධ්‍ය කාලීන නිර්දේශයකි.

9. රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති
රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, එය දරාගෙන සිටින සමාගම (Holding Company) සහ එහි උපදේශක කමිටුව නිපුණ, ස්වාධීන සහ ආචාරධාර්මික කාර්ය මණ්ඩලයකින් සමන්විත බව සහතික කිරීටත් මුදල් අමාත්‍යංශයට මෙම වාර්තාවෙන් නිර්දේශ කරයි.

10. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ යෙදීම් තාවකාලිකව නැවැත්වීම
2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත මඟින් සිදු කරන කාර්යයන්, යෝජනා ඇගයීම සහ ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි වල පිරිවැය සඳහා පැහැදිලි මෙන් ම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් ප්‍රකාශයට පත් කරන තෙක් අත්හිටවිය යුතු බව IMF නියෝජිතයින් නිරීක්ෂණය කර තිබේ.

බදු නිදහස් කිරීම් ආදිය සිදු කරන්නේ මෙම පනත හරහාය. ජනාධිපති කාර්යාලය විසින් එය නිසි ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් අත්හිටුවන්නැයි වාර්තාව නිර්දේශ කරයි.

11. පාර්ලිමේන්තු අනුමැතියකින් තොර අමාත්‍යංශ බදු පැනවීම් සීමා කිරීම
කලින් ලබා ගත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යංශ මට්ටමින් බදු පැනවීමට ඇති බලය ඉවත් කිරීම හෝ සංශෝධනය කරමින් බදු නීති සංශෝධනය කළ යුතු බවට මුදල් අමාත්‍යංශයට නිර්දේශ කරන අතර ම, එමඟින් ආදායම අඩු වීමක් නොවන බවට ද සහතික වන ලෙස IMF යෝජනා කර සිටී.

12. ආයතනවල දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැන මහජන වාර්තාවක් ඉදිරිපත් කිරීම
2023 දෙසැම්බර් වන විට අල්ලස් කොමිසම සහ අදාළ අපරාධ විමර්ශනය කිරීමේ ක්‍රියාවලීන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා එක් එක් ආජ්‍ය ආදායම් සම්බන්ධ ආයතන තුළ කෙටි කාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස වාර්තාව නිර්දේශ කරයි.

එසේ සිදුකර, මුදල් අමාත්‍යංශය විසින් 2024 දෙසැම්බර් වන විට ගත් පියවර සහ ප්‍රතිඵල පිළිබඳ මහජන වාර්තාවක් නිකුත් කරන්නැයි එම නිර්දේශයේ වැඩිදුරටත් සඳහන් ය. එය වගවීමේ ක්‍රියාවලිය ඉහළ නැංවීමේ අරමුණ ඉටු කරගැනීම සඳහා ය.

13. EPF සඳහා නව කළමනාකරණ විධිවිධාන
මේ වන විට සමාජයේ විවාදසම්පන්න කතා බහක් නිර්මාණය වී ඇති සේවක අර්ථ සාධක අරමුදලෙහි මහ බැංකුව සමග ඇති කළමණාකාරීත්වය 2024 ජුනිවන විට අවසන් කර, ඒ සඳහා නව කළමනාකරණ විධිවිධාන ස්ථාපිත කිරීම සිදු කිරීම මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන්නැයි මෙයින් නිර්දේශ කර ඇත.

IMF වාර්තාව වැඩිදුරටත් යෝජනා කරන්නේ ඒ සඳහා පුළුල් උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කරමින් කැබිනට් ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි.

14. රාජ්‍ය බැංකු ක්‍රියාවලිය සංශෝධයනය
විධායකයින් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම මගින් රාජ්‍ය හිමිකාරීත්වය ඇති බැංකුවල ආයතනික පාලනය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත යුතු ක්‍රියාමාර්ගයක් බව වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

එසේ ආයතනික පාලනය ශක්තිමත් කර බැංකු අංශයේ අධීක්ෂණයට අදාළ නීති සම්පාදනය, රෙගුලාසි සහ ක්‍රියාවලිය සංශෝධනය කිරීමට මෙයින් නිර්දේශ කර තිබේ.

15. ඉඩම් ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම
2024 දෙසැම්බර් වන විට, මාර්ගගත ඩිජිටල් ඉඩම් ලේඛනයක් ස්ථාපිත කිරීමට මෙම වාර්තාවෙන් ඉඩම් අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ. ඒ තුළ රජයේ ඉඩම් පවරාදීම්, හිමිකම් ලබාදීම් ආදිය සියල්ල පිළිබඳ තොරතුරු ද අඩංගු විය යුතු ය.

එමෙන් ම එහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ද නම් කරන ලද වෙබ් අඩවියක පළ කළ යුතු බව වැඩිදුරටත් සඳහන් ය.

16. අධිකරණ සේවා කොමිසමේ සම්පත් සහ කුසලතා පුළුල් කිරීම
මෙම යෝජනාවලියෙන් නිර්දේශ කරන්නේ අධිකරණ අමාත්‍යංශය විසින්, අධිකරණ සේවා කොමිෂන් සභාව සතුව මේ වන විට තිබෙන සම්පත් සහ කුසලතා තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

නීතියේ ආධිපත්‍ය ඉහළ දැමීම වෙනුවෙන් සිදු කර ඇති මෙම නිර්දේශය ක්‍රියාවට නැංවීමේ දී ඒ සඳහා සැලැස්මක් සකස් කර දිගින් දිගටම අධීක්ෂණය කළ යුතු බව ද සඳහන් ය.