JVP-US

ජවිපෙ ඇමරිකන් දීගය කුමටද?

– අජිත් පැරකුම් ජයසිංහ

ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙන බව ඉතාම පැහැදිලියි.

අරගල කාලෙ මේ ලක්ෂණ ඉතා පැහැදිලිව දකින්නට ලැබුණා. දැන් එය වෙනස් විදියකට ක්‍රියාත්මක වෙනවා. පෙසප/ අරගල/ ආණ්ඩු විරෝධී ලයින් එකට මේ වෙනකොට රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති හරහා ඇමරිකන් සල්ලි විශාල වශයෙන් ලැබෙනවා. ලංකාවේ සිවිල් සමාජ දේශපාලනය හැඩගැසෙන්නෙ මේ අරමුදල්වලින්. මේ වෙනකොට ආණ්ඩුවට පක්ෂ යයි නම් වී තිබෙන රාජ්‍ය නොවන සංවිධාන පවා ඉන්නෙ දැඩි පීඩනයක.

මේ කරුණුවලින් පෙනෙන්නෙ ඇමරිකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතන හරහා එක පැත්තකින් රට ස්ථාවර කරන්නට සහාය දෙන ගමන් අනෙක් පැත්තෙන් අස්ථාවර කිරීමේ හැකියාව තියෙන බලවේගත් තමන්ගේ පාලනය තුළ තියාගෙන ඉන්න බවයි. මේවා කරකවන ආකාරය ඔවුන් තීරණය කරන්නෙ ඒ ඒ නිශ්චිත මොහොතට අදාළව.

ගේම් එක නොදැන හිටිය ආධුනිකයකු වුණ ගෝඨාභය ඇමරිකන් උගුලේ පැටලුණා. ඔහුගේ බලයට පැමිණීමේ සිට පළවා හැරීම දක්වා නාට්‍යමය සිදුවීම්වලදි ඇමරිකාව විශාල බලපෑමක් කළා. අවසානයේදී රාජපක්ෂවාදය අතුගා දැමීම දක්වා තැනකට එය තල්ලු වුණා. සජිත්, ඩලස්, නීතීඥ සංගමය, පල්ලිය වැනි බලවේග ඇමරිකන් උවමනාවන් වෙනුවෙන් පහසුවෙන් පාලනය වෙමින් තිබුණු බවයි මගේ අදහස.

මේ තත්වය අවුල් කරපු නායකයා තමයි රනිල්. ඔහුට තිබෙන අත්දැකීම්, පළපුරුද්ද හා පිළිගැනීම එක්ක ජුලී චං වැනි අය ආධුනිකයි. රනිල්ගේ මෑත කාලීන රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන මැදිහත්වීම් දේශපාලනික පාට කන්නාඩි ගලවලා හරියට හැදෑරුවොත් ඔහු හැම පැත්තම බේරාගෙන එක අසූචි කන්දකවත් නොතැවරී ලංකාව ගෙනියන්න දරන දුෂ්කර ප්‍රයත්නය හඳුනාගන්නට පුළුවන්.

ජවිපෙ සම්බන්ධයෙන් කියන්නට තියෙන්නෙ මෙච්චරයි. දෙවන ගෝඨාභය නාඩගම රඟදක්වන්නෙ නැතුව පරිස්සම් වෙන්න. සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදය වගේම මාක්ස්වාදයත් ලංකාවට පිළලයක් බව ඇමරිකාවෙ දීර්ඝ කාලීන උපායමාර්ගය ඇතුළෙ තියෙන්නට පුළුවන්. ලෙඩා මළත් බඩ සුද්ද වෙන බෙහෙත දෙන්න ඇමරිකාව පසුබාන්නේ නැති බව ගෝඨාභය නාඩගමෙන් පෙන්නුවා. මේ එන්නෙ මොකටද කියල දැනගෙන උෂාර් වෙන්න කියල තමයි අපට ජවිපෙට කියන්න තියෙන්නෙ.