ජනාධිපති කැඳවූ ඡන්දය ජුනි 20 පැවැත්විය යුතු ය
අජිත් පැරකුම් ජයසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය. එපමණක් නොව, නාමයෝජනා භාරගෙන මැතිවරණය තහවුරු කරගැනීම සිදු වන තෙක් ජන ජීවිත අවදානමේ සීමා පැනවීම පවා කල් දැම්මේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පැරණි පාර්ලිමේන්තුව අවලංගු කරගැනීම බව පෙනේ.
ඒ හා සමාන උවමනාවක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ඇති බවක් ද නොපෙනේ. බස්නාහිර පළාතේ දිගින් දිගට ම ඇඳිරි නීතිය තබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය සූදානම් කිරීම කළ නොහැකි ය. මැයි 15 වන විටත් ඇඳිරි නීතිය පැවතුණහොත් දැනට නියම කරගෙන තිබෙන දිනය වන ජුනි 30දා ද මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පවසයි.
මේ අතර, විපක්ෂය ඉල්ලා සිටින්නේ කොවිඩ්-19 මර්දන කටයුතු සඳහා අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාදායකයේ සම්බන්ධය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව විපක්ෂය කෙතරම් ශපථ කළත් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්තක් නොදක්වන බව පෙනේ. ඒ වෙනුවට ඔහුට පක්ෂපාතී සංඝ සභාවක් කැඳවූ ඔහු පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොමැති බවට වැරදි ප්‍රකාශයක් එහිදී කළේ ය. පහත දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව එය සිදු කළ හැකි ය.
නැවත පාර්ලිමේන්තුව කැඳවීමෙන් සිදු වේ යයි කියන මහා අවුල් ජාලයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය නියෝජනය කරන්නන් විසින් ඉදිරිපත් කරන තර්ක අතිශය බොළඳ ය. එහි තිබෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ගැටලුවක් පමණි. මේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරමින් කුසල් පෙරේරා පෙන්වා දී තිබුණ කරුණක් වූයේ ජනාධිපතිවරයා පරණ පාර්ලිමේන්තුව කැඳවා එමගින් කුමන්ත්‍රණකාරී ලෙස තුනෙන් දෙකේ බලය ලබාගෙන ඔහුට අවශ්‍ය සංශෝධන කරගැනීමේ අවදානමක් වුව පැවතිය හැකි බවයි. එහෙත්, ජනාධිපතිවරයාගේ මූලික ගැටලුව බව පෙනෙන්නේ අභියෝගාත්මක බලවේග සමග දේශපාලනිකව කටයුතු කිරීමට වඩා තමන්ට පක්ෂපාතී මිලිටරි නිලධාරීන් සුළු පිරිසක් සමග කටයුතු කිරීමට ඔහු කැමැත්තක් දැක්වීමයි. පවත්නා තත්වය ඔහුට මහත් පිටිවහලක් වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳ කරුණු විමසන්නට ද ඔහු කැමති නැත.
එහෙත්, කොරෝනා වයිරසය පාවිච්චි කර ඒකාධිපතිවාදී, මර්දනකාරී පාලනයක් ලංකාවේ බිහි කිරීමේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ අවදානමක් ශ්‍රී ලංකාවේ පවතින බව මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවට ඉව වැටී හමාර බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙනේ. කොවිඞ්-19 වසංගත සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති රටවල් 80ක නම් එම නිවේදනයේ සඳහන්ව වේ. ඒ අතරින්, භයානක ලෙස පොලිස් හිංසනය ක‍්‍රියාත්මක වන රටවල් 15ක නම් අතර ශ‍්‍රී ලංකාව ද ඇත. නයිජීරියාව, කෙන්යාව, දකුණු අප‍්‍රිකාව, පිලිපීනය, ශ‍්‍රී ලංකාව, එල් සැල්වර්දෝර්, ඩොමිනිකන් රිපබ්ලික්, පෙරූ, හොන්ඩුරස්, ජෝර්දානය, මොරොක්කෝ, කාම්බෝජය, උස්බෙකිස්ථානය, ඉරානය සහ හංගේරියාව එම රටවල්ය.
එහෙත්, තමන් ඒකාධිපති, මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයකු ලෙස ලෝකය විසින් හඳුනා ගන්නවාට ද ජනාධිපතිවරයා අකැමැති බව සිලෝන් ටුඩේ පුවත්පත සමග ජනාධිපතිට පක්ෂපාතී ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කරුණුවලින් පෙනිණි. එහි තිබෙන්නේ ආර්ථික හේතු බව පෙනේ. මනෝහර ද සිල්වා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ආධාර කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවලට නිසා ඒකාධිපති පාලනයක් ලෙස හංවඩු ගැසුණහොත් ලංකාවට කොවිඩ්-19 මර්දන ආධාර නොලැබී යා හැකි බවයි. දැනටමත්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිය පහළ දමා තිබේ. එම තත්වය හමුවේ ලංකාවට විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ණය ලබාගත හැක්කේ ඉහළ පොළියකට ය. මේ වසරේ ඩොලර් බිලියන හතරකට වඩා ණය ගෙවිය යුතු අතර, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පෙන්වා දෙන ලද පරිදි එයින් අඩක් පමණ බැඳුම්කර ණය වේ. ඒවා ආපසු ගෙවීම කල් දැමිය නොහැකි ය.
ජනාධිපතිවරයා එයටත් අකැමැති නම්, කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීමයි. ඒ සඳහා ඔහු විසින් මූලිකව ම ඇඳිරි නීතිය ඉවත් කළ යුතු ය. ඇඳිරි නීතිය වෙනුවට කොවිඩ්-19 මර්දනය සඳහා විධිමත් පාලනයක් සහිතව රට විවෘත කළ හැකි ය. වැඩිපුර PCR පරීක්ෂණ, නිරෝධායන ක්‍රියාමාර්ග ආදිය ගනිමින් ජුනි 30දා මැතිවරණය පැවැත්විය හැකි අන්දමින් කොවිඩ්-19 පාලනය කරගත යුතු ය. මැතිවරණය සඳහා අවශ්‍ය රාජ්‍ය සහයෝගය මැතිවරණ කොමිසමට ලබා දිය යුතු ය.
කොවිඩ්-19 අතරතුර මැතිවරණ පැවැත්වීම පිළිබඳ පාඩමක් දකුණු කොරියාවෙන් ලබාගත හැකි ය.