වෛද්‍ය අධ්‍යාපනයේ අලුත්ම අර්බුදයත් පරණ අදහස් නිසාය
අජිත් පැරකුම් ජයසිංහ
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය පිළිබඳ නැවතත් කතාබහක් ඇති වී තිබේ. එය හොඳය.
කෙසේ වෙතත්, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වර්තමාන ගැටලුව මතු වී තිබෙන්නේ විදේශ වෛද්‍ය උපාධි සඳහා බඳවාගැනීමේ කොන්දේසි මත ය.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වීමට අ.පො.ස. උසස් පෙළ විෂයයන් තුනක් සම්මාන දෙකක් සහිතව සමත් වීමේ අවම කොන්දේසියක් තිබේ. එහෙත්, විදේශ වෛද්‍ය විද්‍යාලවලට බඳවාගැනීමේදී එවැනි කොන්දේසි අදාළ නොවේ.
කෙසේ බඳවාගත්තත්, ලොව ඉහළ පෙළේ විශ්වවිද්‍යාල තම වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ආරක්ෂා කරගනියි. ලංකාවේ වෛද්‍ය සභාව පිළිනොගැනීමට තීරණය කර ඇති රුසියාවේ විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලංකාවේ විශ්වවිද්‍යාලවලට වඩා බෙහෙවින් ඉහළ තත්වයක තිබෙන්නේ එම නිසාය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා කොන්දේසි මත පදනම්ව විදේශ විශ්වවිද්‍යාලවලට බඳවාගන්නැයි කියන්නට තරම් පිළිගැනීමක් ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට හෝ වෛද්‍ය සභාවට නැත.
එසේම, වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් හිමි අයෙකුට උසස් පෙළ සමත් නැත, පහේ ශිෂ්‍යත්ව විභාගයේ කටෝෆ් මාක් එක නැත, මොන්ටිසෝරි ගොස් නැත ආදී වශයෙන් කියා ලියාපදිංචි නොකර ඉන්නේ නම් එය ඉතා පසුගාමී අධ්‍යාපනික සංකල්පයක් මත පදනම් වූ ක්‍රියාවකි.
කිසිදා පාසල් ගොස් නොමැති අයෙකුට පවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබාගැනීමේ හැකියාව මූලධාර්මිකව තිබේ. එවැන්නකුට අ.පො.ස. උසස් පෙළ නැති නිසා නීතීඥයකු ලෙස දිවුරුම් දිය නොහැකි යයි කියන්නේ නම් එය මොන විකාරයක්ද?
වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම හෝ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අවම ප්‍රමිතියක් අවශ්‍ය බව ඇතැම් අය කියති. අවම ප්‍රමිතිය පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් ලද උපාධිය මිස වෙන මොකක්ද?
භූගර්භ විද්‍යාඥයකු වන ආනන්ද කුමාරස්වාමි වැනි අයෙකුට කලාව පිළිබඳ ලොව පිළිගත් ශාස්ත්‍රාලිකයකු වන්නට හැකි විය. නීතීඥයකු වූ ජෙෆ්‍රි බාවාට ලොව පිළිගත් ගෘහනිර්මාණ ශිල්පියකු වන්නට හැකි විය. සෙනරත් පරණවිතාන ලේඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සහිතව පසුව ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙනිය මණ්ඩපයේ පුරාවිද්‍යා මහාචාර්යවරයා වන්නේ මූලික උපාධියක් නැතිවය. සිළුමිණ පුවත්පත සත දහයේ විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකට වූ සමයේ එහි ප්‍රධාන කර්තෘවරයා වූ මාටින් වික්‍රමසිංහ පාසල් අධ්‍යාපනය ලැබුවේ හත ශ්‍රේණිය දක්වා පමණි. එවැනි විශිෂ්ටයන් දැන් බිහි නොවන්නේ දැන් පවතින පසුගාමී අධ්‍යාපන සංකල්ප නිසාය.
ඕනෑම පසුගාමී සංකල්පයක් සාධාරණීකරණය කරගන්නට ලංකාවේ ඉස්සරහට ගෙන එන මෝඩ සමාජවාදයක් තිබේ. එනම්, දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට උසස් පෙළ ඉහළින්ම සමත් වෙලාත් ලබාගන්නට බැරි වෛද්‍ය උපාධිය සල්ලිකාරයන්ගේ ළමයින් මුදල් ගෙවා ලබාගෙන රජයේ වෛද්‍ය සේවයට එක්වන බව ය. එයින් රෝගීන් අනතුරට පත්වන බවට ද මෝඩ තර්කයක් ඉදිරිපත් කෙරේ. හේතුව, උපාධිධාරී වෛද්‍යවරයා උසස් පෙළ සමත් නැතිකමය.
විදේශ අධ්‍යාපනයට යොමු වන සියලු සිසුන් ධනවතුන්ගේ දරුවන් නොවේ. කුම්මැහියන් නොවන බොහෝ මධ්‍යම පන්තික මව්පියන් ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට උගන්වති. එසේම, රජයේ වෛද්‍ය විශ්වවිද්‍යාලවලට තේරෙන සිසුන් සියලු දෙනා අතරින් වැඩිදෙනෙකු ද ජනප්‍රිය පාසල්, ඉහළ පෙළේ ටියුෂන් අධ්‍යාපනය ලබාගත හැකි ධනවතුන්ගේ හෝ මධ්‍යම පන්තිකයන්ගේ දරුවන්ය. ඒ අතර ඔය කියන දුප්පත් සිසුන් ඇත්තේ අඩු ප්‍රතිශතයකි. වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඔවුන්ගේ අවස්ථාව අහිමි වන්නේ පළමු ශ්‍රේණියෙන් හොඳ යයි සම්මත පාසලක් නොලැබෙන තැනදීමය.
අනෙක් පැත්තෙන් මේ රටේ ධනවතුන්ගේ දරුවන් ද ජාතියේ දරුවන් ය. මව්පියන් ධනවත් වීම දරුවන්ගේ තබා එකී මව්පියන්ගේ හෝ වරදක් නොවේ. මේ රටේ ධනවත් වන්නට අකැමැති අය අල්පය. එසේම, ධනවත් වන සියලු දෙනා දේශපාලකයන් මෙන් වංචනිකයන් නොවේ. කොටින්ම කියනවා නම් ධනවත් වීම දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. දුප්පතුන්ට බැරි දේ කොහොමත් ධනවතුන් කරනවා ය. දුප්පතුන්ට පුළුවන් නම් ධනවතුන්ටත් කලින් ඒ දේවල් කරන්නට ඔවුන් පෙළඹෙන්නට පුළුවන.
උසස් පෙළ සමත් නැති වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාව අවම ය. ඒ අය විසින් වෛද්‍ය උපාධිය හැදෑරීමට ඇතුළත්වීම සඳහා හදාරන ලද පදනම් පාඨමාලාවලින් මෙකී මූලික අවශ්‍යතාව සම්පූර්ණ වී තිබිය හැකිය.
මෙහිදී සමාජවාදීන්ට සිහිපත් කර දිය යුතු කාරණයක් තිබේ. අප දැනට දන්නා පරිදි රෝහණ විජේවීර වෛද්‍ය අධ්‍යාපනය සඳහා රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ ද උසස් පෙළ සමත් වී නොවේ.