ශ්‍රී ලංකාව වධහිංසනයේ විෂම චක්‍රයක ගොදුරක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව වධහිංසනය සිදු කිරීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පැමිණිලි 302ක්ද අවමන් සහගත සැලකීම් සම්බන්ධ පැමිණිලි 12ක්ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධ පැමිණිලි 1616ක් ද ලැබී ඇති අතර 2022 වර්ෂය වන විට වධහිංසනය සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 560ක් දක්වා ද අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් පැමිණිලි සංඛ්‍යාව 16ක් දක්වා ද සමස්තයක් ලෙස පුද්ගල නිදහස සීමා කිරීම පිළිබද පැමිණිලි සංඛ්‍යාව 2228ක් දක්වාද වර්ධනය වී ඇති බව පෙන්වයි.
ලංකාව වධහිංසනයට එරෙහි ජාත්‍යන්තර සම්මුති අත්සන් කර ඒවා අපරානුමත කිරීම සඳහා නීති ද සම්පාදනය කර තිබෙන රටකි. වධහිංසනයෙන් කෘෘර අමානුෂික හා අවමන් සහගත සැලකිලි සහ දඩුවම් වලින් මිදී සිටීමේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇත. 1994 අංක 22 දරණ වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලිවලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත මගින් වධහිංසනය අපරාධ වරදක් බවට පත් කර ඇත. එම සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා අවුරුදු 25කට අධිකය.
පනත ක්‍රියාත්මක කර වසර 25ක් යන තෙක්ම එම පනත යටතේ පවරා ඇති නඩු ප්‍රමාණය 115ක් බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එහෙත්, තවමත් පොලිස් අත්අඩංගුවේදී මිනිස්සු මියයති. කෘර වධහිංසනයට ලක්වෙති. පැන යාමට තැත් කළ බව හෝ පොලිසියට පහර දුන් බව කියා වෙඩි තබා ඝාතනය කිරීම පොලිසියේ අපරාධ මර්දන මූලෝපායක් බවට පත්වී තිබේ.
අපරාධ රැල්ලක් පැනනැගී තිබෙන මේ මොහොතේ එය මැඬලීම සඳහා පොලිසිය යළි එබඳු ක්‍රියාමාර්ග වෙත යොමු වේද යන්න වර්තමානයේදී අප හමුවේ තිබෙන ගැටලුවකි.
ශ්‍රී ලංකාව වධහිංසනයේ විෂම චක්‍රයක් තුළ සිර වූ රටකි. එයින් ගැලවීම සඳහා විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන ශාරීරික හා මානසික දඬුවම් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නවක වධය කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ. පොලිසිය, හමුදා, අධිකරණය වධහිංසනය සම්බන්ධයෙන් වැඩිදුර සංවේදීකරණය අත්‍යවශ්‍යය.