ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

අජිත් පැරකුම් ජයසිංහ – 2021 පෙබරවාරි 21 අනිද්දා පුවත්පතේ ද පළවිය

ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි

Translations by Creative Content Consultants

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි.

එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) මානව හිමිකම් කවුන්සලයේ ලේකම් කාර්යාලය ලෙස සැලකෙනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 36ක් අතරින් එකක්. මෙම නියෝජිතායතන අද වන විට බුද්ධිමය වෘත්තිකයන්ගේ රජදහන් බවට පත්වී හමාරයි. ඒත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවනු ලැබුවේ ලෝක බුද්ධි මණ්ඩපයක් වෙන්නද, නැතිනම්, ලෝක ආණ්ඩුකරණයක් ගොඩනගාගන්නද? පාලන අරමුණක් නැතිනම්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ව්‍යූහයන් මොකටද?

ලෝක බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයන්ගේ රජදහනක් බවට පත්වී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා එහි නියෝජිතායතනවල කාර්යසාධනය සම්බන්ධ ඇගයීමක් සිදුකළ යුතු වෙනවා. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම ලෝක මට්ටමේ වැඩක් වුණත්, ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම මේ වගේ ක්ෂුද්‍ර තැන්වලින් හෝ ආරම්භ විය යුතුයි. ලෝකයේ සාමාන්‍ය පුරවැසියන්ට ඒ සඳහා ඉතා පැහැදිලි අයිතියක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ලද ආකාරය මෙහිදී උදාහරණයට ගතහැකියි.

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධය කියන්නේම දැවැන්ත මානව හිමිකම් උල්ලංඝන සංකීර්ණයක්. මානව හිමිකම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවුණේ 2009දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ පරාජයත් සමග සලකුණු වූ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූ සිදුවීම් නිසායි. මෙහිදී රජය වගේම කොටි සංවිධානයත් මානව හිමිකම් උල්ලංඝනයන් මෙන්ම යුද අපරාධත් කළ බව රහසක් නොවෙයි. සිවිල් වැසියන් ඉලක්ක කිරීම, යටත් වූවන් මරාදැමීම, වධහිංසනය වැනි ක්‍රියා ඒ අතරින් ප්‍රධානයි. යුද්ධය නිසා ඉතිරි වූ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය, ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, ජීවිත හා දේපල විනාශය සඳහා වන්දි, පුනරුත්ථාපනය, ප්‍රතිසංස්කරණය, කැරැල්ලට සම්බන්ධ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, හමුදා නිලධාරීන්ට එරෙහි නඩු හා විමර්ශන ආදී ප්‍රශ්න රැසක් තවමත් ඉතිරි වී තිබෙනවා.

යුද්ධය අවසන් වී දැන් පූර්ණ දශකයකුත්, තවත් අවුරුද්දකටත් වඩා ගත වී තිබෙනවා. මේ කාලය තුළ කොයි තරම් දේ සිදුවුණාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්ගේ සිට, විවිධ විෂය සම්බන්ධ විශේෂ වාර්තාකරුවන් ආදී එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ නිලධාරීන් කොතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කළාද? සාමය හා සංක්‍රාන්ති යුක්තිය වැනි යෙදුම් තොරොම්බල් කරන ව්‍යාපෘති කෙතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළාද? ඒවායින් වෘත්තිකයන් කීදෙනෙකු ප්‍රතිලාභ ලැබුවාද? අවුරුදු පතා ජිනීවාහි පැවැත්වෙන සැසිවාර තුනක් සඳහා කොයිතරම් මහජන මුදල් කන්දරාවක් ලෝක පරිමාණෙන් හා දේශීය වශයෙන් වැයවුණාද? මානව හිමිකම් කවුන්සලයේ නියෝජිතයන්ට බලපෑම් කිරීම සඳහා යයි කියමින් කොයි තරම් දේශීය හා ඩයස්පෝරා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් විවිධ ව්‍යාපෘති සඳහා වන පොදු අරමුදල් පාවිච්චි කරමින් සහභාගී වුණාද? ශ්‍රී ලංකාවේ රජය හා විදේශ අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කොයි තරම් ජාතික ධනයක් කැප කළාද? මාධ්‍යවල විකාශන කාලයත්, මහජනතාවගේ කායික හා බුද්ධිමය ශ්‍රමයත් කොයි තරම් වැය වුණාද?

රත්තරං ප්‍රශ්නය එය නොවේ. අවුරුදුම දුසිමකට පසු සිදුවී තිබෙන්නේ කුමක්ද? කිසිවක් සිදුවී නැති බවක් අප කියන්නේ නැහැ. එහෙත්, ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සල ක්‍රියාවලිය සම්බන්ධයෙන් තම රාජකාරියට අදාළව තෘප්තිමත් විය හැකි කිසිවෙකු ඉන්නවාද? එහෙම නැතිනම්, ඒ ඇයි? රාජ්‍ය දූෂණය ගැන නිතර කතාකරන සිවිල් සමාජය මේ අකාර්යක්ෂමතාව ගැන කියන්නේ මොකක්ද? සමස්ත ජිනීවා ක්‍රියාවලිය ගැනම විගණනයක් සිදුවිය යුතු නැද්ද? එහිදී මෙම ක්‍රියාවලියට සම්බන්ධ විවිධ පාර්ශ්ව තනි තනිව තමන්ගේ භූමිකාව සම්බන්ධයෙන් කියන්නේ මොකක්ද? එය දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සිංහල ජාතිවාදී පාලනයට ගැටලුවක් නැත. ඔවුන් සිය අරමුණු ඉටුකරගෙන තිබෙනවා. මේ වන විට අවුරුදු 12කට පසු මානව හිමිකම් ක්‍රියාවලියේ තවත් වටයක් පසුකර නැවත මුලටම රට ගෙනයන්නට රාජපක්ෂ පාලනය සමත් වී තිබෙනවා. යුද අපරාධවලට හා මානව හිමිකම් උල්ලංඝනයන්ට වගකිවයුතු පාර්ශ්ව යයි චෝදනා ලැබූ අය නැවතත් ආණ්ඩුවේයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ගන්නා ලද වැදගත්ම පියවර විය හැක්කේ පසුගිය ජනවාරි 21දා විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීමයි. මෙම කොමිෂන් සභාවෙන් මානව හිමිකම් උල්ලංඝනයන් හෝ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කරනවාද? නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන් පත්කරන ලද විනිසුරු නවාස්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද මෙම ත්‍රිපුද්ගල කොමිෂන් සභාව විසින් විමර්ශනය කරනු ලබන්නේ මෙතෙක් පැවති විවිධ කොමිෂන් සභා, කමිටු ආදිය විසින් කර තිබෙන නිර්දේශ හා ඒවා ක්‍රියාත්මක වී තිබෙන ආකාරය පිළිබඳවයි. එය ඉතා සූක්ෂම ලෙස නැවත වටයකින් මානව හිමිකම් සභාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය රැවටීමේ ප්‍රයත්නයක්. කිසිවක් නොකර සිටීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය කොයිතරම් තිරසාර එකක්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් ඉතින් කුමක් කරනු ඇද්ද? ශ්‍රී ලංකාව 2015දී සම අනුග්‍රාහකත්වයෙන් ගෙන ආ 30/1 යෝජනා සම්මතය අනුව කටයුතු නොකරන බව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දැනුම් දී අවසන්. දැන් මානව හිමිකම් සභාව අලුත් යෝජනා සම්මතයක් ගෙන එන්නට උත්සාහ කරන බවක් පෙනෙනවා. එය වැඩක් වෙයිද? යෝජනා සම්මතයට එරෙහිව මානව හිමිකම් සභාවේ බෙදීමක් ඇතිවෙයිද? සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් යෝජනාව සම්මත වුණ පමණින් එය ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරයිද? ශ්‍රී ලංකාව විසින් එම යෝජනා සම්මතය ක්‍රියාත්මක නොකළහොත් මානව හිමිකම් සභාව මොකක් කරයිද? ශ්‍රී ලංකාව තමන්ට පක්ෂව ඡන්දය දෙන රටවල් සමග ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධකම් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නට උත්සාහ කළොත් එවැනි යෝජනා සම්මතයක් හේතුවෙන් වගවීමේ හා සංහිඳියාවේ අවශ්‍යතාව කෙරෙහි කිසිදු උපකාරයක් වන්නේ නැහැ. චීනය, කියුබාව, ඉන්දියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය වැනි රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මෙවැනි යෝජනා සම්මතයන් රැසක් දැනටමත් නොතකා හැරදමා තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහා සභාව වෙත ගෙන ගියත්, අවසානයේදී ආරක්ෂක මණ්ඩලයේදී නියත ලෙසම නිශේධ බලයට ලක්වෙනු ඇති.

මේ අතර, ශ්‍රී ලංකාවේ යුද්ධය හේතුවෙන් විවිධාකාරයෙන් පීඩාවට පත්වූ ජනතාවට මෙම ජිනීවා ක්‍රියාවලියෙන් වැදගත් කිසිවක් සිදු වෙනවාද? නැහැ. ඔවුන් නැවතත් තම ජීවිත ගොඩනගාගැනීම සඳහා ජීවන අරගලයේ ගිලෙමින් ද වියපත් වී ලොවෙන් සමුගනිමින් ද සිටිනවා. ජිනීවා ඔවුන්ට මහලොකු උදව්වක් වූයේ නැත. ඔවුන් ජිනීවා ගැන උනන්දුත් නැහැ. ජිනීවා අවසානයේදී වෘත්තික බුද්ධිමතුන් පිරිසකගේ නාටකයක් පමණයි. ඒ නාටකයේ පාත්‍ර වර්ගයා අවුරුදු 12කට පසු දැන්වත් මේ ගැන කතා කළ යුතුයි.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *