Speaker-signing
Law

දත්ත ආරක්ෂණ නීති ගැන පෞද්ගලික අද්දැකීමක්

අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවෙ දත්ත ආරක්ෂණ නීති කොච්චර හොඳින් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධ පෞද්ගලික අද්දැකීමක්.

මම 30/88 කියන චක්‍රලේඛය යටතේ අවුරුදු 20ක සේවා කාලය සම්පූර්ණ කිරීමේ පදනම මත 2015දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවා. වයස අවුරුදු 55 පිරීම මත මට 2020 ඔක්තෝබර් මස සිට විශ්‍රාම වැටුපක් ලැබෙන්නට නියමිතයි. මේ සම්බන්ධ ලිපි ලේඛන සියල්ල මං 2015 සැප්තැම්බර් වන විට භාරදී තිබුණා.

ඒත්, 2020 මැයි වන විටත් මා මීට ඉහතදී සේවය කර තිබුණු කැබිතිගොල්ලෑව, අනුරාධපුර, මහරගම ගුරු විද්‍යාලය අයත් කලාපය ආදියෙන් ගෙන්වාගත යුතුව තිබුණු ලිපි ලේඛන ගෙන්වාගෙන නොතිබීම නිසා, ඒවා මා විසින් කළ යුතු දේ නොවුණත්, මා මැදිහත් වී, ඒ තැන්වලට ගොස් ඒ ලිපි ලේඛන ගෙනත් දුන්නා.

මතුගම කලාප අධ්‍යාපන කාර්යාලයත්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවත් අතර නිසි සන්නිවේදනයක් නොවීම නිසා මේ විශ්‍රාම වැටුප ලැබීම දිනෙන් දින පමාවුණා. ඒ හැම අවස්ථාවකදීම දෙපාර්තමේන්තුවටත්, කලාප අධ්‍යාපන කාර්යාලයටත් බඩගාන්නට මට සිදුවුණා. ඔහොම අවුරුදු එකහමාරකට පමණ පසු පසුගිය මාර්තු මාසයේදී මගේ ගිනුමට මුදල් වගයක් ලැබී තිබුණා. එය විශ්‍රාම වැටුප මෙන් කීපගුණයක් නිසා එය මට නොලැබී තිබුණු පසුගිය වැටුප් විය හැකි යයි මා අනුමාන කරනවා. ඒ ගැන අසා දැනගන්නට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගැනීමට මේ වනවිට විසි තිස් වතාවක් උත්සාහ කර ඇතත්, සාමාන්‍යයෙන් එම දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුමක් ලබාගන්නට අතිශය දුෂ්කරයි. ඒ නිසා නුදුරු දිනෙක එහි යාමට සිදුවෙනවා.

මගේ විශ්‍රාම වැටුප් අංකය මොකක්ද, මට විශ්‍රාම වැටුප කීයක් ගෙවනවාද, මට ගෙවනු ලබන සෙසු දීමනා මොනවාද, එහි වටිනාකම කීයද, මට ලැබෙන්නට නියමිත නොගෙවූ ගෙවීම් මොනවාද, ඒවා ගෙවන්නේ කවදාද යනාදී කිසිවක් මට දැනුම්දී නැහැ. ඒ වගේම, අඩු තරමේ මා තවම ජීවතුන් අතර සිටිනවාද යන්නවත් තහවුරු කරගෙන නැහැ.

ඒ වුණත්, මට පළමු විශ්‍රාම වැටුප ලැබුණු දිනයේ සිට මට කෙළවරක් නැතුව ලැබෙන කෙටි පණිවුඩ වර්ගයක් ලැබෙනවා. ඒවායින් කියැවෙන්නේ විශ්‍රාමිකයන්ට අවුරුදු 15 දක්වා ආපසු ගෙවීමේ කාලය ඇති ණය ඇපකරුවකු නොමැතිව පවා ලබාගත හැකි බවයි. මට දුරකථනයෙන් කතා කළ එක් ෆිනෑන්ස් කොම්පැනියක නියෝජිතයෙකුට මා කීවේ මගේ විශ්‍රාම වැටුප සම්බන්ධ අංකයක් හෝ ලේඛන කිසිවක් මට ලැබී නැති නිසා තවම මේ ණය ලබාගත නොහැකි බව මා සිතන බවයි. එවිට එම නියෝජිතයා මෙසේ කීය: “ප්‍රශ්නයක් නැහැ සර්. අපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ඔක්කොම කරගන්න පුළුවන්. අපි ඩොකියුමන්ට්ස් ඔක්කොම හදල දෙනවා. සර්ට තියෙන්නෙ අස්සන් කරන්න විතරයි.”

මගේ දත්ත මට ලබාගැනීම දුෂ්කරය. එහෙත්, මේ වන විටත් මගේ දත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් බැංකු හා මූල්‍ය ආයතන රැසකට ලබාදී තිබේ. ලංකාවේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය එසේය.

2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ සහ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ පිළිබඳ සොයාබැලීමට මම අදහස් කරමි. ඔබේ අදහස් ද දක්වන්න.

(ඡායාරූපයේ දැක්වෙන්නේ දින කීපයකට පෙර කතානායකවරයා 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ඇතුළු පනත් කීපයක් සහතික කළ අවස්ථාවයි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *