මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සිදුවන සංශෝධන මොනවා ද?
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙම සංශෝධනවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ සඳහා 2009 දී පත්කරන ලද කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් ය.
කමිටුව අවුරුදු නවයක් පුරා විවිධ පාර්ශ්වවලින් අදහස් එක්රැස් කර 2018දී අවසාන වාර්තාව නිකුත් කළේ ය. 2019 ජුලි මාසයේදී මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ වාර්තාවේ නිර්දේශ 14කට එකඟ වූ හ.
කැබිනට් අනුමැතිය ප්‍රකාරව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධන 11ක් සිදුවීමට නියමිත බව වාර්තා විය. මෙම සංශෝධන මොනවා ද යන්න ඉදිරි කාලයේදී දැනගැනීමට ලැබෙනු ඇත. පහත දැක්වෙන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවෙහි නිර්දේශ අතරින් අවධානයට ලක් වූ කරුණු කීපයක් මෙසේ ය:
- විවාහ වීම සඳහා මනාලයාත්, මනාලියත් වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතු ය.
- විවාහය සිදුකරද්දී පාර්ශ්වයන් විසින් එළඹෙනු ලබන විවාහ ගිවිසුමෙහි වගන්ති විවාහ ලේකම් පොතෙහි සටහන් කළ යුතු ය.
- මනාලිය සිය කැමැත්ත පළ කරන බව සංකේතවත් කරමින් විවාහ ලේකම් පොතෙහි අත්සන් කළ යුතු ය.
- දෙවන විවාහයකට එළඹීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයා කාදිවරයකුගේ අනුමැතිය ලබාගත යුතු ය.
- කාදිවරයකු වීම සඳහා සුදුසුකම් ලැබීම පිණිස නීතිඥයකු විය යුතු ය.
- මුස්ලිම් ජනයාගේ පවුල් නීති විනිශ්චයන් සඳහා කාන්තා කාදිවරුන් පත්කරනු ලැබේ.
- කාදිවරුන් පත්කරනු ලබන්නේ පූර්ණකාලීන අධිකරණ නිලධාරීන් ලෙස ය.
- කාදි අධිකරණවල අධිකරණ බලය නැවත අර්ථ නිරූපණය කරනු ලබන අතර ඒවායේ තත්වය උසස් කරනු ලැබේ. ඒ අනුව නඩත්තු අයකරගැනීම සඳහා තම නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා බලතල කාදිවරුන්ට හිමි වේ. දැනට තිබෙන පනත අනුව, ඒ සඳහා වෙනත් අධිකරණයක පිහිට පැතිය යුතු ය.
- මුස්ලිම් විවාහ හා දික්කසාද උපදේශන මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම. එම කමිටුවෙහි කාන්තා නියෝජනය තහවුරු කිරීම.
- මුස්ලිම් කාන්තාවන් විවාහ ලේකම්වරුන් ලෙස පත්කිරීම
- මුස්ලිම් දික්කසාදවලදී සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා නීති සම්පාදනය