ළමයින්ට ‘ලිංගික අධ්‍යාපනය’ ලබාදෙනවාට මං විරුද්ධ ඇයි?
අජිත් පැරකුම් ජයසිංහ
ළමයින්ට ලබාදිය යුත්තේ ලිංගික අධ්‍යාපනය නොවේ. ලිංගික අධ්‍යාපනය ඉතා පුළුල් විෂයක්. ලිංගික ක්‍රියා හා එහි රසය විඳීම පවා එම අධ්‍යාපනයට අදාළයි. පාසල්වල එය ඉගැන්වීම අවශ්‍ය නැහැ. එහෙත් එය ද යම්කිසි දවසක අවශ්‍යයි. එය වැඩිහිටියන්ගේ ලිංගික අධ්‍යාපනය ලෙස සැලකිය හැකියි. එතකොට ළමයින්ට අවශ්‍ය මොකක්ද?
ළමයින්ට ඉගැන්විය යුත්තේ මොකක්ද යන්න නිවැරදිව විග්‍රහ කරගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය ලිංගිකත්ව අධ්‍යාපනයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ sexuality education කියලායි. එහිදී ඉගෙනගන්නෙ තමන්ගේ ලිංගිකභාවය හඳුනාගැනීම. වෙනත් අයගේ ලිංගිකභාවය හඳුනාගැනීම, ඒ හා සම්බන්ධ ශාරීරික හා මානසික කාරණා, සමාජ සම්බන්ධතා පවත්වාගැනීම, ප්‍රජනන ක්‍රියාවලිය, ප්‍රජනනය හා සම්බන්ධ සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඒ හා සම්බන්ධ සංස්කෘතිය, සමාජ සම්මතයන්, ඒකාකෘති වගේ දේවල්.
මෙය ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි ඇතැම් අංශ පරිපූර්ණ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය (Comprehensive Reproductive Health Education) ලෙස ද හඳුන්වනවා.
මේ අතර ජාත්‍යන්තර වශයෙන් භාවිතාවට ඇවිත් තිබෙන තවත් වැදගත් යෙදුමක් තමයි වයසට ගැලපෙන හෙවත් Age-appropriate කියන එක.
වයසට ගැලපෙන ලිංගිකත්ව අධ්‍යාපනය ගැන තේරුම් ගන්න පොඩි කතාවක් කියන්නම්. එක්තරා මහාචාර්යවරයෙකුට පෙර පාසල් යන පුංචි පුතෙකු ඉන්නවා. දවසක් මේ දරුවා පෙර පාසල් ඇරී මහාචාර්යවරයා සමග ගෙදර යන අතර මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
“තාත්තෙ, අපි කොහෙන්ද මෙහාට ආවෙ?”
මහාචාර්යවරයා මේ ගැන කල්පනා කරනවා. පොඩි කාලෙ මාත් මේ ප්‍රශ්නය ඇහුවා නේද, එතකොට අම්මා කිව්වෙ කුරුල්ලෙකු ගෙනත් දැම්මාය කියල නේද, ඒක කොච්චර අවිද්‍යාත්මකද, ළමයා මේ ප්‍රශ්නය අහන තැනට ආවට පස්සෙ අපි මේවා කියා දිය යුතුයි නේද ආදී වශයෙන් බොහොම දුර දිග බලලා එදා හවස පුතා තමාගේ කන්තෝරු කාමරයට ගෙන්වාගෙන විවාහය, මවගේ හා පියාගේ ලිංගික එක්වීම, දරු ප්‍රසූතිය ආදී සියලු විස්තර පිංතූර හා වීඩියෝ පෙන්වමින් ළමයාට කියා දුන්නා. කොල්ලාත් කට ඇරගෙන මේවා අහගෙන හිටියා.
ඉතින් මේ ලිංගිකත්ව අධ්‍යාපන සැසිය අවසන් වෙලා මහාචාර්යවරයා බොහොම තෘප්තියෙන් මෙහෙම ඇහුවා: “ඉතින් පුතේ, ඇයි ඔයාට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණෙ?”
කොල්ලා මෙහෙම කිව්වා. “මගේ යාලුවා කිව්වා ඒගොල්ලන් ආවෙ මාතරින් කියලා.”
භූගෝලයයි, ලිංගිකත්ව අධ්‍යානයයි ලැපටිලා.