online scams

ළමා අපයෝජන නිල් චිත්‍රපට බැලුවොත්, හැදුවොත් වෙන දේ

වසර දෙකක් තිස්සේ තම ඥාති සොහොයුරියට ලිංගික අතවර කරමින් එම අපයෝජනයේ දර්ශන ගූගල් ඩ්‍රයිව් වෙත උඩුගත කළ කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ළමා අසභ්‍ය දර්ශන නරඹන සහ බෙදාහරින පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දී ඇති නව ක්‍රමවේදයක් භාවිත කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකා පොලිසිය ‘අතුරුදහන් සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයට’ සම්බන්ධ වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය අනාවරණ කළාය.

නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර අවධාරණය කළේ බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලය තුළ නිර්මාණය කිරීම, බෙදා හැරීම හෝ ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඇය පෙන්වා දුන්නාය. සමාජ මාධ්‍ය වේදිකා හරහා එවැනි අන්තර්ගතයන් නැරඹීම, බෙදාගැනීම හෝ අදහස් දැක්වීම ද මෙයට ඇතුළත් වේ.

2022 දී ශ්‍රී ලංකාව සමග සම්බන්ධ අසභ්‍ය පින්තූර පින්තූර 146,000 ක් සහ 2023 දී 98,000 ක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිනිය පෙන්වා දුන්නාය.

දත්ත පද්ධතියේ යාන්ත්‍රණය පැහැදිලි කරමින් නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර මෙසේ පැවසුවාය: “පුද්ගලයන් විසින් නීතිවිරෝධී දෘෂ්‍ය අන්තර්ගතයන් මුදා හරින විට හෝ සමාජ මාධ්‍ය හෝ සයිබර් අවකාශයේ එවැනි තොරතුරුවලට අදාළ ක්‍රියාකාරකම්වල යෙදෙන විට, අදාළ සේවා සපයන්නන් විසින් රැස් කරන ලද දත්ත ‘අතුරුදහන් වූ සහ සූරාකෑමට ලක් වූ ළමුන් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානය’ සමඟ බෙදා ගන්නවා. මෙම ක්‍රමය අපරාධකරුවන් සහ වින්දිතයින් සිටින රටවල් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමට පහසුකම් සපයන අතර එමඟින් අන්තර්ජාලය පදනම් කරගත් සූරාකෑම සම්බන්ධ අඛණ්ඩ අපරාධ පිළිබඳව ඔවුන් දැනුවත් කරයි.”

මෙම සහයෝගීතාවය දරුවන්ට එරෙහි සයිබර් අපරාධ මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් බව නියෝජ්‍ය පොලිස්පති ජයසුන්දර අවධාරණය කළාය. “අපගේ දරුවන් සයිබර් අපයෝජනයට ගොදුරු වීම පිළිබඳ නිතර වාර්තා වීම මෙම වැදගත් පියවර ගැනීමට අපව පොළඹවා ඇත. මෙම ජාත්‍යන්තර දත්ත පද්ධතිය සමඟ සම්බන්ධ වීමෙන්, මෙම ගැටලු ඵලදායී ලෙස විසඳීම අපගේ අරමුණයි.”

පද්ධතියේ මෙහෙයුම්වලට අදාළ රටවලට දැනුම් දීම, ඔවුන්ගේ දේශසීමා තුළ පවතින තත්ත්වය පිළිබඳව ඔවුන්ට දැනුම් දීම සහ විවිධ ආකාරයේ අන්තර්ජාල පාදක සූරාකෑම් පිළිබඳව අනතුරු ඇඟවීම, අවදානමට ලක්විය හැකි දරුවන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ ගෝලීය උත්සාහයක් සහතික කිරීම ඇතුළත් වේ.