turkey

ඥාන ගී සරණිය

අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය …

පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි වරු මහා මිනිස් සංහාරයක් ආරම්භ කරන ලද්දේ ආර්මේනියාව බලහත්කාරයෙන් යටත් කර ගැනීම ඉලක්ක කරගෙනය. තුර්කිය විසින් ආර්මේනියාව ආක්‍රමණය කිරීමත් සමගම, එරට ජනයා සමුලඝාතනය කිරීම ආරම්භ කළේය. කාන්තාවන්, ළමුන් හා වැඩිහිටි පිරිස් බලහත්කාරයෙන් සිරියානු කාන්තාර ප්‍රදේශවලට පිටත් කරමින් නිරාහාරව තබා මරණයට පත් කළේය. ආර්මේනියානු පිරිමි ජනගහනයෙන් බහුතරය කපා කොටා, වෙඩි තබා මරාදමමින් Euphrates නැමැති ගංගාවට ඇද දැමිය. ලක්ෂ 15 කට අධික අහිංසක පුරවැසියන් තුර්කි පාලකයන් විසින් මරා දැමු අතර ලක්ෂ ගණනක මිනිසුන්ගේ ඇට කටු සියවසකට පසුව ඉහත කි ගංගා පතුලේ තිබී සොයා ගන්නා ලදී.

1915 අප්රෙයිල් 24 දින ආර්මේනියානු දේශපාලන නායකයින්, බුද්ධිමතුන් 250 කට අධික පිරිසක් ඔටෝමන් පාලනය විසින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන මරා දමමින් මෙකි සංහාරය ආරම්භ කරනු ලැබිය. ඉන් පසුව තුර්කි මිලිටරි හමුදා විසින් ආර්මේනියානු ජනයාගේ නිවෙස් ගිනිබත් කරමින් දුටු දුටු සෑම පුද්ගලයෙක්ම මරා දමනු ලැබිය. දිවි බේරා ගැනීමට බොහෝ දුරට හැකි වුයේ කාන්තාවන් හා ළමුන්ය. එහෙත් මිනිසෙකුට අවැසි අවම පහසුකමක් හෝ ඔවුන්ට ලබා නොදීමට ගර්හිත ඔටෝමන් තුර්කි පාලනය වග බලා ගත්තේය. ආහාර අහේනිය නිසාම බොහෝ ළමුන් වීදි දිගේ, ගම් නියං ගම් වල මැරී වැටුණි. මේ චායාරුපයෙන් දිස්වන්නේ සාගින්නෙන් පෙලෙන දරුවන් පිරිසක් ඉදිරියට පැමිණි තුර්කි බලධාරියෙකු, පාන් කැබැල්ලක් ඉහලට ඔසවා ඔච්චම් කරන අමානුෂික දසුනයි..

මෙම ඡායාරූපය මට සිහියට නගන්නේ 1989 කැරැල්ල සමයේ දෙනියාය හමුදා කඳවුර විසින් එළියකන්දට එවන ලද සිරකරුවන් ගැනයි. ඔවුන් ආහාර හිඟකම නිසා දිස් වූයේ ඇවිදින ඇටසැකිලි මෙනි. දෙනියාය හමුදා කඳවුරේ ලොක්කා ඔවුන්ට වධ දී තිබුණේ කන්නට නොදීමෙනි. 

දෙනියායේ සිට පැමිණි, මගේ මිතුරකු වූ ඥානරත්න නම් රියදුරාට හොඳට ගීත ගැයීමේ හැකියාව තිබිණි. සාගින්නේ පෙලුණු ඔහු වෙත පාන් බාගයක් රැගෙන පැමිණි හමුදා නිලධාරියකු වරක් ඔහු ලවා ගීත රැසක් ගායනා කරවාගෙන තිබේ. පාන් බාගයට ආසාවෙන් ඥානරත්න ගීත දහයක් පමණ ගායනා කළේය. අවසානයේදි ගායනා කරගන්නට පණ නැතුව ඔහු පාන් කැබැල්ල ඉල්ලා සිටියේය. හමුදා නිලධාරියා ගී කීවා මදි යයි කියා පාන් කැබැල්ල රැගෙන ආපසු ගියේය. 

අපි වීරවිල කඳවුරේ සිටියදී මේ අහිංසක ගායකයාගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූයෙමු. අප එය හැඳින්වූයේ ‘ඥාන ගී සරණිය’ නමිනි. මා ඥානරත්නගේ කැමතිම ගී දෙක වන්නේ සීත වන විල් පෙතේ හා පනාමුරේ ඇත් රාජා ගීත දෙකයි. එදා ඥානරත්න සීත වන විල් පෙතේ පිපුන පියුමක් මතේ කලා රැජිනී වයයි ස්වර්ණ වීණා කියා සරස්වතී නමදිමින් පටන් ගත් ප්‍රසංගය ගීත 20ක් පමණ ගයා පනාමුරේ ඇත් රාජාගෙන් අවසන් කළේය. නිවේදන කටයුතු කළේ මා ය.