මානව හිතවාදී කාලෝ තුට්ටු දෙකේ දේශපාලකයකු කළ වාම ජනප්‍රියවාදය
අජිත් පැරකුම් ජයසිංහ
අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා පිළිබඳ බොහෝ ගුණ වැයුම් අසන්නට ලැබේ. ඔහු විශිෂ්ට මානව හිතවාදියකු, ගුරුවරයකු, සන්නිවේදකයකු, කලාකරුවකු, රසිකයකු, චින්තකයකු බවට විවාදයක් නැත.
ලිපිය දැන්වීමෙන් පසු දිගටමඒ සියල්ලට අමතරව ඔහු වාමාංශික ව්‍යාපාරයේ සමසමාජ පක්ෂයේ නායකයෙකි. ප්‍රගතිශීලී යයි වාමාංශිකයන් විසින් පටු ලෙස දකින මතවාද දැරූවෙකි. ඒවා වෙනුවෙන් පෙනී සිටියෙකි. අරගල කළ අයෙකි. මිථ්‍යාවට එරෙහිව විද්‍යාව වෙනුවෙන් ඔහු කළ අරගල අදත් ගෞරවයට පාත්‍ර වේ.
1989 කැරැල්ල සමයේ ඔහුට ස්වයං පිටුවහලේ සිටින්නට සිදු වූයේ ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ ඔහු දැරූ මතවාද හේතුවෙන් ඊනියා දේශප්‍රේමීන් වෙතින් එල්ල වූ තර්ජන නිසා ය. ඒ වකවානුවේ ඔහු සිය ඥාතියකු ද වූ විජය කුමාරතුංගයන්ගේ නායකත්වයෙන් යුතුව අභියෝගාත්මක ප්‍රගතිශීලී දේශපාලනයක නියැලී සිටි බව එවකට ඔහුට එරෙහි අනෙක් පැත්තේ සිටි අයෙකු ලෙස ස්වයං විවේචනාත්මකව සහ ගෞරව බහුමානයෙන් යුතුව සටහන් කරමි.
ජීවිතයේ පසුභාගයේදී ඔහු සිය දේශපාලන නායකයා ලෙස සැලකුවේ මහින්ද රාජපක්ෂ ය. මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ලද ජාතිවාදී යුද්ධය, ජන ඝාතන, මාධ්‍ය මර්දනය, දූෂණ, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිසංස්කරණ ආදී සියල්ල ඔහු ආරක්ෂා කළේ ය. ඔහුට මහින්ද රාජපක්ෂ රජය යටතේ යම් යම් තනතුරු ලැබිණි. ඒවා ඔහුගේ වෘත්තීය වටිනාකමට වඩා අඩු තනතුරු ය.
වාමාංශික පතාක යෝධයකු මහින්ද රාජපක්ෂ ළඟ දන නැමූයේ ඇයි? කාලෝ ෆොන්සේකා සම්බන්ධයෙන් අප කතාකරන්නට කැමති ඒ ගැනයි.
මේ දිනවල ඇතැම් වාමාංශික කොටස් වාමාංශික ජනප්‍රියවාදයක් ගැන මතයක් ඉදිරිපත් කරයි. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය මධ්‍යම පන්තිය අතර ජනප්‍රිය පදනම් ගොඩනගාගනිමින් සිටින බව පෙනේ.
2004 මහ මැතිවරණය වන විට ජවිපෙ සිටියේ ජනප්‍රියත්වයේ උපරිම තලයකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වූ එය පාර්ලිමේන්තු ආසන 40ක් දිනාගැනීමට සමත් විය. 2005 වසරේ මහින්ද රාජපක්ෂ ලැබූ ජනාධිපතිවරණ ජයට ඉවහල් වූයේ ජවිපෙ විසින් දරණ ලද බර හා කොටි සංවිධානය විසින් දියත් කරන ලද ඡන්ද වර්ජනයයි. පසුව ජවිපෙ දෙමළ අරගළයට එරෙහි යුද්ධයට සහාය දැක්වී ය. ඒ වනාහි වාමාංශික ජනප්‍රියවාදයේ අත්දැකීමකි.
ජවිපෙ ජනප්‍රිය සමයේ ජවිපෙට ළං වී තනතුරු, වරප්‍රසාද, බලය ගොඩනගාගත් පිරිස් බොහොමයක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂට ළංවීමේ මාර්ග සොයමින් සිටිනු දක්නට ලැබේ. ජනප්‍රියවාදයන්ගේ හැටි එහෙම ය.
වාම ජනප්‍රියවාදය කියන එක ගැන රටේ හොඳම උදාහරණය ලංකා සමසමාජ පක්ෂයයි. සමසමාජ පක්ෂය හැමදාමත් ජනප්‍රිය රැළි සමග එකතු වූයේ ය. 1956දී කුළුගැන්වුණ ජනප්‍රිය ජාතිවාදී රැල්ල ගැන තෘෂ්ණාවෙන් සමසමාජ පක්ෂය 1964දී ශ්‍රීලනිපය සමග සන්ධානගත විය. 1970දී බලයට පත් ශ්‍රීලනිප, සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ සමගි පෙරමුණු සන්ධානයේ වාම ජනප්‍රියතාව අවසන් වූයේ අද වන විට සමසමාජ පක්ෂයට පාර්ලිමේන්තුවේ එක ද අසුනක් හෝ නැති අනාගතයක් නිර්මාණය කර දෙමිනි. එතනින් නොනැවතී සමසමාජ නායකයකු වූ කොල්වින් ආර්. ද සිල්වාගේ මූලිකත්වයෙන් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාවෙන් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම වාම ජනප්‍රියවාදයේ තවත් ඓතිහාසික ප්‍රතිගාමිත්වයකි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා නම් දේශපාලකයා නියෝජනය කරන්නේ මෙකී ඊනියා වාම ජනප්‍රියවාදයයි. වාම ජනප්‍රියවාදයට සිදු විය හැකි දේ ගැන ඔහු ජනප්‍රිය සංකේතයකි. සමසමාජ වාම ජනප්‍රියවාදය අවසන් වන්නේ මුග්ධත්වය ම මත පදනම් වූ, මුග්ධත්වය ම ප්‍රවර්ධනය කරන රාජපක්ෂවාදය පාමුල දැපනෙ වැටීමෙනි.
වම ද දකුණ ද යන්න පවා අද වන විට තේරුමක් නැති බෙදීමක් බවට පත් වී තිබේ. ලංකාවේ බොහෝ වාමාංශික පක්ෂවලට වඩා වාම ලක්ෂණ මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ තිබේ.
ප්‍රගතිශීලීන් විසින් කළ යුතුව තිබෙන්නේ ජනප්‍රිය ද නැද්ද යන්න නොතකා දේශපාලනික වශයෙන් ඉදිරිගාමී ස්ථාවර වෙනුවෙන් අරගළ කිරීමයි. ජනප්‍රිය වෙනවා ද නැද්ද යන්න ද්විතීයක කාරණයකි. කාලෝ ෆොන්සේකා වැනි වාමාංශිකයන් බිහි නොවීමට එය ඉවහල් වනු ඇත.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ජීවිතයේ අවසාන සමයේදී ඔහු ජනප්‍රිය වාම අරගළයක වැදගත් ප්‍රකාශකයකු හා සංකේතයක් විය. වාම ජනප්‍රියවාදීන් විසින් සයිටම් අරගලය ලෙස නම් කරන ලද, දොස්තර මධ්‍යම පන්තියේ ඉතා පටු උවමනාවන් විසින් හසුරුවන ලද මෙම සටන ඇත්ත වශයෙන් ම අධ්‍යාපනයේ නිදහසට එරෙහි ප්‍රතිගාමී අරගළයක් විය. මේ පිළිබඳ අප මින් පෙර බොහෝ කරුණු ලියා තිබේ.
සරලව කියනවා නම්, අධ්‍යාපනය යනු රජය විසින් පමණක් කළ යුතු කාර්යයක් නොවේ. එසේම, රාජ්‍ය අධ්‍යාපනයේ සීමාසහිතකම් ද තිබේ. ලංකාවේ නම් රාජ්‍ය අධ්‍යාපනය හොඳම රාජ්‍ය පාසල් ටික තම දරුවන් වෙනුවෙන් අත්පත් කරගන්නා මධ්‍යම පන්තියේ වරප්‍රසාදයකි. රාජ්‍ය අධ්‍යාපනයේ තිබෙන මෙම විෂමතාව දුරලීම සඳහා ඒ වෙනුවෙන් මහජන ආයෝජන සිදු කළ යුතු ය. රාජ්‍ය අධ්‍යාපනය තව තවත් සංවර්ධනය කළ යුතු ය. සියලු රජයන් එසේ කරමින් සිටිති. එහෙත්, හොඳ රාජ්‍ය පාසල් අහිමි වීම නිසා රාජ්‍ය අධ්‍යාපනයෙන් බැහැර කරනු ලබන ඊනියා ජාත්‍යන්තර පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලබන්නේ ද මේ රටේ ම දරුවන් පිරිසකි. රාජ්‍ය උසස් අධ්‍යාපනයේ දොරටු ඔවුන්ට වැසී ඇත.
අධ්‍යාපනය ස්වාධීන වීම වඩා ප්‍රශස්ථ තත්වයක් මුත්, අධ්‍යාපනයේදී පෞද්ගලික ආයෝජන සිදුවීම නරක තත්වයක් නොවේ. ආයෝජකයන්, සමාගම්, ලාභය, වෙළඳපොළ ආදිය වාමාංශිකයන්ට භයානක කුණුහරුප වුවත්, ඒවා සරල සමාජ යථාර්ථයන් ය. ඒ හැම එකක් ම මිනිස් සමාජ පරිණාමයේ ජයග්‍රහණ මිස කුමන්ත්‍රණ නොවේ. ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය මේ වන විට කරමින් සිටින්නේ ඉතා ප්‍රතිගාමී, ජාතිවාදී, ආගම්වාදී, මොළ සේදීමේ කාර්යයකි. එහෙත්, ඊනියා වාමාංශිකයන්ට එය පෙනෙන්නේ නැත.
සමාජවාදී රාජ්‍යයකින් කළ යුතුව තිබෙන්නේ අධ්‍යාපනය රජයෙන් ස්වාධීන කිරීමයි. රජය අධ්‍යාපන සම්පාදකයකුගේ සිට නියාමනය කරන්නකු දක්වා වෙනස් විය යුතු ය. එසේම, සමානාත්මතාව ඇති කිරීම සඳහා අවශ්‍ය ඌන පූරණ කටයුතු රජයක් විසින් අනිවාර්යයෙන් ම කළ යුතු ය. අධ්‍යාපනය වෙනුවෙන් තමන් දැරිය යුතු වියදම මහජනතාව දැරිය යුතු ය. එසේ දරන්නට නොහැකි අයට රජය විසින් උපකාර කළ යුතු ය. එසේ නොමැතිව, සියලු මහජනතාවගෙන් බදු මුදල් සූරා කා මධ්‍යම පන්තියට නොමිළේ අධ්‍යාපන වරප්‍රසාද ලබා දෙන වත්මන් ක්‍රමය සමාජවාදී ක්‍රමයක් නොවේ.
කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ වාම ජනප්‍රියවාදීන් විසින් ඊනියා නිදහස් අධ්‍යාපනයට මුවා වෙමින් සිදුකරන ලද සයිටම් අරගලය හෙවත් අධ්‍යාපනයේ නිදහසට එරෙහි ප්‍රතිගාමී අරගලය වනාහි මධ්‍යම පන්තියේ ජයග්‍රහණයෙන් නිමා වූ සමාජ අරගළයේ පරාජයකි.
තම අවමංගල්‍යය සම්බන්ධයෙන් පවා ක්‍රම විරෝධී භෞතිකවාදියකු ලෙස අන්තිම කැමැත්ත ලියා තැබූ මේ වියත්, මානව හිතවාදියා දේශපාලනයේදී තඹ දොයිතුවක් නොවටිනා චරිතයක් බවට පත් වූයේ ඇයි?