ජිනීවාවට විසිල් ගහන යුද අපරාධ හවුල්කරුවෝ
අජිත් පැරකුම් ජයසිංහ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්‍රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ.
මෙම ඡායාරූපයේ සිටින්නේ කලක් ඊරෝස් සංවිධානයේ සිට පසුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයකු වූ වී. බාලකුමරන් සහ ඔහුගේ පුතායි.
සටන් විරාම සමයේ හිරු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා අපි බාලකුමරන් හෙවත් බාලකුමාර් හමු වුණා. ඔහු ඒ වන විටත් වාමාංශික පදනමකින් දෙමළ ජාතික විමුක්ති අරගලය විග්‍රහ කළ පුද්ගලයකු වන අතර කොටි සංවිධානයේ නායකත්වයට බලපෑම් කළ හැකි මට්ටමේ අයෙකු බව ඔහුම කීවා මතකයි.
2009 මැයි මස යුද්ධය අවසන් වීමෙන් පසු බාලකුමාරන් සුදු කොඩි රැගෙන පැමිණ හමුදාවලට භාර වූ බව ද, මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ එසේ භාර වීමෙන් පසුව බව ද කියැවෙනවා. ඉන් පසු ඔහුට සිදුවූයේ කුමක්ද? භාර වූ සටන්කරුවකු මරාදැමීම යුද අපරාධයක්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා සම්මතයන් විසිල් හා බඩ පිනුම් ගසමින් භාරගන්නා අරගලකරුවන් කියන්නේ මේ යුද අපරාධ විමර්ශනය කළ යුතු බවයි. ඒ ගැන අපේ නම් කිසිම විරෝධයක් නැහැ.
අප කියන්නේ යුද්ධයට ආවැඩූ ජවිපෙ, පෙසප හා ජනමාධ්‍ය ඇතුළු සියලු බලවේග ද මෙම යුද අපරාධවල වගකීම භාරගත යුතු බවයි. එය හමුදාවට හා දේශපාලන නායකත්වයට පමණක් පටවා දෑත් සෝදාගැනීම වැරදියි.
වර්තමාන අර්බුදයට මුලික වූ යුද සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියා සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා දැනට පවතින යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ යාන්ත්‍රණයක් වැනි නව මුල පිරීම් අනුගමනය කිරීම හරහා වර්තමාන තත්වය සියුම්ව නිරීක්ෂණය කරන සහ වගවීම වැඩි දියුණු කරන යෝජනාවක් කවුන්සිලය විසින් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය බව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIAනියෝජනය කරමින් 2022 සැප්තැම්බර් 12දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසි වාරය අමතමින් ඉල්ලා සිටි නීතීඥ නුවන් බෝපගේ පවා ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළා. මේ පක්ෂ යුද්ධයටත්, යුද අපරාධවලටත් ආවැඩුවා.
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 46/1 දරන යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමේ බලය හා විශ්වාස කළ හැකි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව ඉලක්ක ගත තහංචි, එනම් දේපළ තහනම් කිරීම් හා ගමන් බිමන් තහංචි පැනවීමේ බලය සාමාජික රටවලට ලබාදී තිබෙනවා.
යුද්ධය පැවැති සමයේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන් හා දේශපාලන නායකයන්ට විදේශයන්හිදී මෙය දැඩිව බලපානු ඇති.
46/1 යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මධ්‍යම දත්ත ගබඩාවක් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් ස්ථාපිත කර තිබෙනවා. අනාගතයේදී පුද්ගලයන්ට හෝ ආයතනවලට එරෙහිව නඩු පැවරීම සඳහා රාජ්‍යයන්ට මෙම දත්ත උපයෝගී කරගත හැකියs.