පොහොර දෙනු! සහනාධාර නොදෙනු!
මේ රටේ දැනටත් පොහොර සඟවාගෙන තිබෙනවා විය හැකිය. ඒ වනාහි පෞද්ගලික අංශය විසින් රජයට වැඩි මිලට විකිණීම සඳහා ආනයනය කරන ලද පොහොර තොග වේ.
පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය පෞද්ගලික ආනයනකරුවන්ගෙන් මිලදීගත් පොහොර වෙනුවෙන් රු. බිලියන 30ක ණයක් ඇති බව වාර්තා වේ. රු. 3,500ක් පමණ වන පොහොර මිටියක් රජය වී ගොවීන්ට ලබාදෙන්නේ නිකම්මය. සෙසු වගාකරුවන්ට දෙන්නේ රු. 2,000ටය. ඉතිරිය රජය ආනයනකරුවන්ට ලබාදිය යුතුය.
විවෘත වෙළඳපොලේ නියාමනය නොකරන ලද මිලකට හෝ රු. 3,500ක් 4,000ක් වැනි නියාමනය කරන ලද මිලකට පොහොර විකිණිය හැකි නම් පෞද්ගලික අංශය වෙළඳපොළට පොහොර නිකුත් කරනු ඇත.
වානිජ වශයෙන් ලාභදායී එළවළු, තේ වැනි වගාවන් සඳහා ගොවීහු ඒ මිලට පොහොර යොදන්නට කැමැත්තක් දක්වති. එළවළු වැනි ඇතැම් කෘෂි නිෂ්පාදන මිල වෙළඳපොළ තත්වයන් මත රඳාපවතින නිසා ගොවීන්ට ලාභ ලැබීමේ හැකියාවක් තිබේ. එවැනි ගොවීන්ට වෙළඳපොළෙන් හෝ පොහොර මිලදී ගන්නට නිදහස තිබිය යුතුය.
ආණ්ඩුවේ කාබනික පොහොර ගොවීන් මත බලෙන් පටවන්නට යාම මෙරට කෘෂිකර්මාන්තයේ විනාශයට හේතු වනු ඇත. කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කියන වස විස කතාව වනාහි රසායනික පොහොර ඇතුළු කෘෂි රසායනිකවල වරදක් නොව වැරදි භාවිතයේ ප්‍රතිඵලයකි.
අවුරුද්දකට රු. බිලියන 50කට වඩා වැයක් රජයට පොහොර සහනාධාරය වෙනුවෙන් දරන්නට සිදුවේ. රජයේ හිටිවන කාබනික පොහොර තීරණයේ පසුබිම මෙයයි. පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර නොමිලේ දීම හා වගා පාළු වුවහොත් වන්දි ගෙවීම වුව විදේශ විනිමය පිටට යනවාට වඩා රජයට වාසිදායකය.
මහජන මුදලින් අධික ලෙස සහනාධාර ලබාදී කරන ගොවිතැන තේරුමක් නැති බව මේ රටේ ජනතාව තේරුම් ගත යුතුය. මෙය විශේෂයෙන් ගොවි ජනතාව තේරුම්ගත යුතුය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහජනතාව තම බදු මුදලින් මේ රටේ ගොවි ජනතාවට නොමිලේ ජලය ලබාදී තිබේ. පොදු සම්පතක් වන ජලය ගොවීන්ට පරිහරණයට ලබාදී තිබෙන්නේ නිකම් නොවේ. වාරි සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් හා අඛණ්ඩව ඒවා නඩත්තු කරමිනි. මෑතක සිට වී ගොවීන්ට පොහොර ද නොමිලේ දෙන ලදී.
මෙතරම් කැප කිරීම් ආහාර නිෂ්පාදනය වෙනුවෙන් කළ බදු ගෙවන ජනතාවට සිදුවී තිබෙන්නේ කුමක්ද? වස විස නැති ආහාරයක් සාධාරණ මිලකට ලබාගැනීමට වෙළඳපොළේ තිබේද? නැත.
ඇත්තෙන්ම, වෙළඳපොළේ සහල් මිල ද ඇත්ත මිල නොවේ. රජය පොහොර සහනාධාරය සඳහා වැය කරන රු. බිලියන 50ට වැඩි මුදලින් විශාල කොටසක් ද සහල් මිලට එකතු විය යුතුය. ඇත්තෙන්ම, පාරිභෝගිකයෝ සහල් මිලදී ගැනීම වෙනුවෙන් එක වරකට වඩා මුදල් ගෙවති.
එය ද පැත්තකින් තබමු. පරම්පරා ගණනාවක් තිස්සේ ගොවීන්ට දුන් සහනාධාරවලින් ඔවුන් දියුණු වුණාද? ගොවීන් තවමත් දිළිඳු ඇයි? තවමත් ගොවීන් වැඩි පිරිසකට සමෘද්ධි දිළිඳු සහනාධාර ද ගෙවීමට සිදුවී තිබෙන්නේ ඇයි? ඒ අතර ඩඩ්ලි සිරිසේන වැනි මෝල්කාරයන් මෙතරම් ධනවතුන් හා බලවතුන් වූයේ කෙසේද? මේ උපායමාර්ගය අසාර්ථක බවට තවත් සාක්ෂි අවශ්‍යද?
දිළිඳු ජනයාට රජය සහනාධාර ලබාදිය යුතුය. නැතිනම් ඔවුන් දැඩි අවදානමකට ලක්වේ. එහෙත්, දීර්ඝකාලීනව කළ යුතු වෙනස්කම් ඔවුන් සමග සාකච්ඡා කරමින් කළ යුතුය. එය ජනතාවට අවබෝධ කරදී ක්‍රමානුකූලව කළ යුතුය. පොල්ලෙන් ගැහුවා සේ හිටි ගමන් ජනතාවට නොකෙළවිය යුතුය. දැන් ආණ්ඩුව කරන්නේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව, ප්‍රජාතාන්ත්‍රික අන්දමින් කළ යුතු පරිවර්තනයක් හිටිවනම සිදුකිරීමයි. රජය පසුගිය අප්‍රේල් 29දා ගත් පොහොර හා කෘෂි රසායනික ආනයනය මුළුමනින්ම නතර කර 100%ක් කාබනික ගොවිතැනට යොමුවන මුග්ධ තීරණය වනාහි රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වසරකින් කරන බවට පොරොන්දු වූ දෙයක් එක රැයින් කිරීමකි. වර්තමානයේ වගාකරන බෝග බොහොමයක් කෘෂි රසායනිකවලට ගැලපෙන පරිදි දේශීයව පවා නිර්මාණය කරගන්නා ලද ඒවා බව ආණ්ඩුව නොසලකා හැර තිබේ. ආණ්ඩුව බලයට ඒම සඳහා කියූ සුරංගනා කතාවලට වඩා මේ කරන දේ සම්පූර්ණයෙන්ම පටහැණිය. එයින් ගොවීන් හා පාරිභෝගිකයන් දැඩි පීඩාවකට පත්වනු ඇත. ඒ නිසා ගොවීන්ගේ විරෝධය සාධාරණය.
ආණ්ඩුව ඒ වන්දිය ගෙවිය යුතුය. එහෙත්, ආනාගතයේ බලයට එන කිසිදු ආණ්ඩුවක් මේ තරම් පුළුල් පොහොර සහනාධාර පොරොන්දු නොවිය යුතුය. ඡන්ද ලබාගැනීම වෙනුවෙන් මහජන මුදලින් සහනාධාර විසිකිරීම නැවැත්විය යුතුය. සහනාධාර අවශ්‍ය නම්, ඒවා ලබාදිය යුත්තේ ඉතා විධිමත් අන්දමිනි. කාබනික ගොවිතැන දිරිගැන්විය යුතුය. එහෙත්, රටේ ජනතාවගේ බඩගින්න නිවන එකට රජය ප්‍රමුඛතාව දිය යුතුය.
කෙසේ වෙතත්, අවසාන වශයෙන් මෙය ද කිව යුතුය. දැනට රටේ පවත්නා අර්බුදය ලාංකීය ආර්ථිකයේ බොහෝ නිදන්ගත රෝග ලෙඩා මළත් බඩසුද්දයි ක්‍රමයට සුව කරනු ඇත.
මේ ලිපිත් කියවන්න: