Minister C.B. Rathnayaka

බස් සේවකයන්ට, සනීපාරක්ෂක කම්කරුවන්ට නැති, දේශපාලකයන්ට ඇති එන්නත

තිලක් මා හඳුනන බස් කොන්දොස්තරවරයෙකි. ඔහු උග්‍ර දියවැඩියා හා අධි රුධිර පීඩනයන්ගෙන් පෙළෙන පුද්ගලයෙකි. නාගරික කෙටිදුර බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවය කරන ඔහු මට මෙසේ පැවසීය:

Translations by Creative Content Consultants

“මං දැන් ඔය කොරෝනා ගැන ප්‍රවෘත්ති බලන්නෙම නැහැ. ඒවායේ තියෙන විදියට මං වගේ කෙනෙකුට රස්සාවක් කරන්න පුළුවන් තත්වයක් රටේ නැහැ. බස් එකට නගින අය කවුරුද කියල අපි දන්නවද? බස් ඇතුළෙ මොන මීටර් පරතරද? කොරෝනා හැදිල මැරුණත් කරන්න දෙයක් නැහැ. පවුල් නඩත්තු කරන්න අපි වැඩ කරන්න ඕනැ.”

කෝවිඩ්-19 හේතුවෙන් බස්වල යන සෙනග ද අඩු වී ඇති බවත්, ලාභ ලැබිය හැකි අන්දමින් සෙනග පුරවාගන්නට අවස්ථාව ලැබෙන්නේ කාර්යාල වේලාවේදී පමණක් බවත්, අනෙක් වේලාවට බසයෙන් අඩක්වත් සෙනග පිරෙන්නේ නැති බවත් ඔහු පැවසීය.

“අපි නිතරම විෂබීජ අල්ලනවා. බස් ස්ටෑන්ඩ්වල අපට ඉන්න හෙවණක්, බොන්න වතුර ටිකක්, යන්න හරිහමන් වැසිකිළියක්, කන්න බොන්න පිරිසිදු කඩයක්වත් නැහැ. මේ වෙනකොටත් අපි කොරෝනා ආසාදිතයොද දන්නෙ නැහැ. පීසීආර් කළොත් මේ ලැබෙන ආදායමත් නැතිවෙලා පවුල් පිටින් නිරෝධායනයට යන්න වෙයිද කියල බයයි.”

ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනකා කෝවිඩ්-19 එන්නත් තොගයෙන් භාගයක් වැඩිදියුණු කිරීමේ දෙවන එන්නත ලෙස තබා නොගෙන වැඩි පිරිසකට එය ලබාදීමට රජය තීරණය කර තිබේ. එම තීරණයට පදනම් වන්නේ පළමු එන්නතින් මාස තුනක් පමණ ගතවන තෙක් දෙවන එන්නත අනවශ්‍ය බව තීරණය කිරීමයි.

පළමු වටයේදී එන්නත ලබාදුන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලිසිය, ආරක්ෂක හමුදා ආදියටයි. අධි අවදානම් කාණ්ඩයට අයත් වන බරපතල රෝගාබාධ සහිත ජනයාට එන්නත් ලබාදෙන්නටත් පෙර ඉදිරියට පැන එන්නත ගසාගන්නට ලංකාවේ ලැජ්ජා විරහිත දේශපාලනඥයන් ඉදිරිපත් වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට එන්නත දෙන්නට තීරණය කරන්නටත් පෙර පෝලිම පැන එන්නත ගසාගත් ඇමති සී.බී. රත්නායක “ඇයි අපට මේක හොඳ නැද්ද?” කියා මාධ්‍යවලින් ඇසුවේය.

රටේ සිදුවන දේ පාඨකයන්ට වාර්තා කරන මාධ්‍යවේදියා ද දේශපාලකයන්ට වඩා කෝවිඩ්-19 අවදානමට ලක්වන්නෙකි.

විපක්ෂයේ සිටින සැබැවින්ම ආණ්ඩුවේ නියෝජිතයකු ලෙස සැලකිය හැකි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද එන්නත ලබාගෙන මාධ්‍ය ඔස්සේ තම සතුට පළ කළේය.

මහජනතාවට එන්නත ලබාදෙන තෙක් තමන් එන්නත ලබා නොගන්නා බව කියන්නට එඩිතරකම තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙකු දක්නට ලැබිණි.

අප ඉහත දක්වන ලද බස් කොන්දොස්තරවරුන්, රියදුරන්, දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නන්, දුම්රිය ආරක්ෂකයන්, නාගරික කසල ඉවත්කරන සනීපාරක්ෂක කම්කරුවන්, සෑම මට්ටමකම අනෙකුත් සනීපාරක්ෂක කම්කරුවන් වැනි අය අත්‍යවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් තම ජීවිත කොරෝනා වයිරස අවදානමට ලක්කරගන්නා අයයි. තවත් මෙවැනි බොහෝදෙනා සිටිද්දී මහජන මුදලින් දෙන එන්නත මුලින් තමන්ට ගසාගන්නට තරම් ලජ්ජා විරහිතකමක් දේශපාලකයන්ට තිබිණි.

මහජනතාවට එන්නත ගසාගැනීමට දේශපාලකයන් පසුපස ගාටන්නට සිදුවන තත්වයක් නිර්මාණය වේද? රජය සාධාරණ අන්දමින් සියලු දෙනාට එන්නත ලබාදෙයිද?

කෙසේ වෙතත්, එකක් මතක තබාගත යුතුය. කොවිඩ්-19 ඉදිරියේ හැමකෙනෙකුම ආරක්ෂිත වනතෙක් සමාජය සුරක්ෂිත වන්නේ නැත.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *