විස්සට එරෙහිව සජිත්ලා මුලපිරූ විරෝධයට ලාල් කාන්තලාත් එකතු වීම දක්වා
අජිත් පැරකුම් ජයසිංහ
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට පෙත්සම් 40ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එයට ඇති විරෝධය පෙත්සම් සංඛ්‍යාවෙන් ම නිරූපණය වේ. මෙම පෙත්සම් බහුතරයක් මගින් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වන ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු සංශෝධනය නොකළ හැකි, නොකළ යුතු දෙයක් නොවේ. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හැමවිටම පෙරදැක්මකින් යුතුව සිදු කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව නම් රටේ එසේ සිදු වී නැත.
ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් 1978දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් එදා සිටම විවේචන ඉදිරිපත් කළ පාර්ශ්වයෙන් බිහිවන නායකයකු වන ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ අනුගාමිකයන් දැන් කතාකරන්නේ 1978ට ආපසු යන හැටිය. ඔවුන්ට ඊටත් එහා ඒකාධිපති බලතල අවශ්‍යව ඇති බවක් පෙනේ.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකකුත් අවශ්‍ය යයි කියමනක් තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී දැන් අවුරුද්දකට ආසන්නය. පසුගිය කාලසීමාව තුළ ඔහුට රට පාලනය කිරීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ බාධාවක් අපට නම් නොපෙනිණි.
රට මුහුණ දුන් දැවැන්ත අභියෝගයක් වන කොවිඩ්-19 සාපේක්ෂව සාර්ථක ලෙස පාලනය කිරීමට ඔහු සමත් වූයේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබියදීය. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පාලනය තිරසාර ද යන ප්‍රශ්නයක් ඇත. රටේ දැනට පවතින තත්වය මත ඕනෑම මොහොතක රෝගය රට පුරා පැතිර යාමේ අවදානමක් තිබේ. එහෙත්, එයට හේතුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොවේ.
ඔහුට අවශ්‍ය වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට වග නොකියන, පූර්ණ මුක්තියක් හිමි ජනාධිපතිවරයකු බවට පත්වන්නටය. ආණ්ඩුව ප්‍රසම්පාදන, විගණන ‘බාධක’වලින් ගලවාගන්නටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ, ඇමති තනතුරු සීමාකිරීම්, ඇමති බලතල ආදිය ඔහුට වහකදුරු වැනි යයි සිතිය හැකිය. එසේම, විදේශ පුරවැසියකුව සිට, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එය ඉවත් කරගැනීමට සිදු වූ ඔහුට විදේශ පුරවැසියන්ට ජනාධිපති ධුරය දක්වා තනතුරු දැරීමට අවස්ථාව ලබාදීමට ද උවමනා වී තිබේ.
සමස්තයක් ලෙස ම, රටේ මුළු බලය ම තම අතට ගැනීමට ඔහුට උවමනා වී තිබෙන්නේ සදාකාලිකව බලයේ සිටින්නේ තමා ය සිතන්නාක් මෙනි. ඔහු මේ දිනවල ක්‍රියා කරන්නේ ද ඒ අන්දමිනි. මාධ්‍ය කැමරා සමග රටේ විවිධ තැන්වලට යන ඔහු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් මගහරිමින් විවිධ නියෝග කරමින් කටවචන චක්‍රලේඛ ලෙස සලකන ලෙස ආදී විවිධ විකාර කතා කියමින් සිටියි.
ඔහු කඩාපැන්න නාරාහේන්පිට කාර්යාලයට ඊළඟ දිනයේ ගිය ලේඛිකාවක් එහි කිසිදු වෙනසක් සිදු වී නැති ආකාරය හා ජනාධිපතිගේ චාරිකාව එහි සේවකයන් විසින් විහිළුවක් බවට පත්කරගෙන ඇති ආකාරය අරුණ පුවත්පතට වාර්තා කර තිබේ.
ඔහු වර්තමානයේ කරමින් සිටින කිසිදු දෙයකට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්ථා සභාව හෝ ස්වාධීන කොමිෂන් හෝ බාධාවක් වී ඇති බවක් නොපෙනේ. ඔහුට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය වී තිබෙන්නේ අනාගතයේ ඔහු කරන්නට සිටින මොනවා හෝ දේ වෙනුවෙනි. ඒ මොනවාදැයි ඔහුවත් දන්නවාදැයි අපි නොදනිමු.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා දැන් දැන් සමාජයෙන් ලැබෙන තල්ලුව ප්‍රබල වෙමින් තිබෙන බව දක්වන ඉඟියක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ චර්යාව සැලකිය හැකිය.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ මුල් සමයේ ජනතාවට මට්ටුවක් ලෙස එය කරගන්නට ඉඩ දිය යුතු බවට සමාන ස්ථාවරයක් පෙන්වූ ජනතා විමුක්ති පෙරමුණ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ සමගි ජන බලවේගය දැඩි විරෝධයක් දක්වද්දී පවා නිහඬව සිටියේය. ජවිපෙ දැන් වාමාංශික ව්‍යාපාරය සමග එක්ව විස්ස පරදවන බවට ශපථ කරන්නට ඉදිරිපත් වීමට හේතුව ඒ මහජන විරෝධය ගැන ඇති වී තිබෙන අවබෝධයයි. විස්සට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය එල්ල වී තිබෙන අතර, දැන් ඔවුන් පවසන්නේ කාරක සභා අවස්ථාවේ සංශෝධන මගින් එය තනුක කරන බවයි. එසේම, 20න් පසුව පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බවට නැළවිලි ගී ද කියනු අසන්නට ලැබේ.
විස්ස පැරදවිය යුතුය. පැරදවිය හැකිය. ඒ සඳහා මුලපිරීම සිදුකළ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂයට තම කාර්යභාරය ඉටුකිරීම හා ජනතාව බලමුළුගැන්වීම සඳහා මුලපිරීම සම්බන්ධයෙන් ප්‍රණාමය හිමි විය යුතුය.