Painting by Ajith Perakum Jayasinghe for his short story

චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් (කෙටිකතාවකි)

අජිත් පැරකුම් ජයසිංහ

රාජාලියා හෙමිහිට මගේ ජනේලෙ වීදුරුවට තට්ටු කළා. එළිය වැටිලනෙ තිබුණෙ. ඒ නිසා වයිරං වීදුරුව එහාපැත්තෙන් වුණත්, ඒ ඉන්නෙ රාජාලියා බව මං තේරුම් ගත්තා.

Translations by Creative Content Consultants

මං හෙමිහිට ජනේලෙ ඇරියා. ඌ යන්තං තටු ගසමින් එහෙට මෙහෙට පැනලා ඇරපු ජනේලෙ පඩිය උඩ වාඩි වුණා.

“මොනව හරි කනවද?” මං ඇහුවා.

“ම්හු!” රාජාලියා බුම්මගෙන කිව්වා.

“මොකද, ඊයෙ නින්ද ගියෙ නැද්ද?”

රාජාලියාගෙ තිබුණෙ දුක්මුසු පෙනුමක්. පින්නට තෙමිච්ච පිහාටු පිපිලා, අවුල් වෙලා තිබුණා. ඒවා කොච්චර අවුල් වෙලාද කියනවා නම් රාජාලියාගෙ තියුණු, කෘර ඇස් වටේ තිබුණු කහපාට රවුමට උඩින් කොණ්ඩෙ පවා අවුල් වෙලා තිබුණා. ඒක හරියට ජෙල් ගාලා පීරුවා වගේ ලස්සනට තියෙන හරියක්. රාජාලියාගේ ඇස් වටේ කහපාටත් මළානික වෙලා තිබුණෙ. කෘර ඇස්වලට අසරණකමක් එකතු වුණාම ඒක හරිම කාලකණ්ණි පෙනුමක්.

“තමුසෙගෙ වර්ගය තමුසෙ දන්නවද?” මං දවසක් උගෙන් ඇහුවා.

“අපට නැහැ ඕයි තමුසෙලට වගේ වර්ගවාදයක්,” ඌ සුපුරුදු නෝක්කඩුවෙන් උත්තර දුන්නා.

“තමුසෙ ක්‍රෙස්ටඩ් සර්පන්ට් ඊගල් හෙවත් විද්‍යාත්මකව ස්පිලෝනිස් චීලා වර්ගයේ උකුස්සෙක්.”

“තමුසෙලනෙ ඔය නම් දාන්නෙ. අපියැ? අපටමොකද මොකක් කිව්වාම. මං සර්පයො නං කනවා. ඒ වුණාට සර්පයො විතරක් නෙමෙයි.”

රාජාලියා දැන් නාකියි. අපි දෙන්නා මුණ ගැහුණු මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඌට අසනීපයි. දැන් ඌට සර්පයෙකු වුණත් අල්ලාගන්න අමාරු ඇති. මං කඩෙන් ගෙනාපු මාළු, හාල්මැස්සන් කරවල, හරක් මස් තීරු දීල තමයි මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් කාලෙ ඌව රැක බලාගත්තෙ. ඌ ඒව ගිලදැම්මෙ මං අහකට යනකල් ඉඳලා හොරෙන් බල බලා. ඌට සැකයක් තිබුණා මං ඌව නිදහස් කරන එකක් නැහැ ය කියලා. මට මොකටද රාජාලියෙක්? මොකෝ මං නිදහස් පෙළපාලියට ඌව කරේ තියාගෙන යන හමුදාකාරයෙක්ද?

“මං තමුසෙට සර්පයෙක් අල්ලල දෙන්නද?” කියල අහන්න හිතුවට මං ඇහුවෙ නැහැ. කොහොම වුණත්, මට හිතෙන්නෙම රාජාලියාට කලකින් සර්පයෙකු කන්න ලැබිලා නැති නිසා ඌ ඉන්නෙ දුකින් ය කියලායි. මං ඒක කිව්ව නම්, ඌ මෙහෙම කියයි.

“ඕව මනුස්ස සිතුවිලි. මිනිස්සු හිතන විදියට රාජාලියො හිතන්නෙ නැහැ. අපි සර්පයොම කන්න ඕනැ කියල එකක් නැහැ.”

රාජාලියා කකුල් එකෙල මෙකෙල කරලා ජනෙල් පඩිය උඩ හරිබරිගැහුණා.

“මං යනවා,” ඌ එක එල්ලෙ මගෙ ඇස් දිහා බලල කිව්වා. “මට ආපහු එන්න වෙන එකක් නැහැ.”

“ඇයි ඒ? කොහෙද තමුසෙ යන්නෙ?”

“මට දැන් හතළිහයි.”

“ෂුවර්ද?”

“එහෙම තමයි කියන්නෙ. මගෙ දැන් හොටයි නියපොතුයි හයිය නැහැ. ඒවයෙන් ගොදුරු ඩැහැගන්න අමාරුයි. පිහාටුත් ගණ වෙලා. ඉස්සර වගේ දක්ෂ විදියට ඉගිලෙන්න බැහැ.”

“මට නම් එහෙම එකක් පේන්නෙ නැහැ.” මං කිව්වෙ විපරමින් උගේ දිහා බලමින්. ඌව අල්ලනවට ඌ කැමති නැහැ. ඒ වුණාට ඒ වකුටු හොට, කෘර නිය පහුරු කාටිලේජ වගේ මොළොක් වෙලා බවක් නම් මට පෙනුණෙ නැහැ.

අනෙක රාජාලියෙකු අවුරුදු 40ක් හෝ 70ක් හෝ ජීවත් වෙනවාය කියන එක මට නම් පිළිගන්න බැහැ. රාජාලියා අවුරුදු 40ක් වුණාම තීරණයක් අරගෙන දුෂ්කර දවස් 150ක් ගෙවලා අලුත් ජීවිතයක් ලබාගෙන තව අවුරුදු 30ක් ජීවත් වෙනවාය කියන කතාව මාත් ඉන්ටනෙට් එකේ කියවලා තියෙනවා.

“බොරු කතා ඕයි,” මං කිව්වා. “ඕව තියෙන්නෙ පොසිටිව් තින්කිං පණිවුඩවල.”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ ධනාත්මක චින්තන පණිවුඩවල. අර උදේට ගුඩ් මෝනිං කියලා මල් පොකුරු ෂෙයා කරන කට්ටිය එවන මැසේජ්වල.”

“කොහෙද ඒව තියෙන්නෙ?”

“ෆේස්බුක්වල.”

“ඒ වුණාට මං ෆේස්බුක් එකේ නැහැනෙ.”

“මොකද තමුසෙ නැත්තෙ. තමුසෙ වෙනුවෙන් මං චීලා මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් කියල පේජ් එකකුත් හදල තියෙන්නෙ. ඒකෙ ෆලෝවර්ස්ලාම විසිපන්දාහක් ඉන්නවා. මං තමුසෙගෙයි මගෙයි මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් එක ගැන ඔක්කොම ස්ටේටස් අප්ඩේට් කරල තියෙන්නෙ. මේකත් දානවා.”

“ෆොටෝ දාන්න එපා, හරිද?”

“ඇයි ඒ?”

“තමුසෙ මගෙන් අවසර නැතුව කොහොමද මගෙ ෆොටෝ ෆේස්බුක් දාන්නෙ? මං කැමති නැහැ මාව අසරණ විදියට පෙන්නනවට.”

ඒකෙන් නම් මං ටිකක් අඤ්ඤකොරොස් වුණා. මං මාතෘකාව වෙන අතකට හැරෙව්වා. ඇත්තම කියනවා නම් ආයෙම ට්‍රැක් එකට ගත්තා.

“ආ, තමුසෙට ඔය ගොබ්බ කතාව අහන්න ලැබෙන්න ඇත්තෙ මෙහෙමයි. තමුසෙ කාගෙ හරි පිළිකන්නක ඉඳගෙන රේඩියෝ අහන්න ඇති. ඒකෙ උදේ වැඩසටහන් කරන ගෑනු ළමයෙක් ඔය කතාව කියන්න ඇති.”

රාජාලියාගෙ ඇස් හිනාවුණා. ඌට කොහොමත් කටින් හිනාවෙන්න බැහැ. ඌ කට පළල් කරලා හිනාවෙන්න උත්සාහ කරනකොට කැරිකැචර් එකක් වගේ පට්ට අවලස්සනයි.

“මං ආවෙ කියල යන්න. මෙට් විත් ඇන් ඇක්සිඩන්ට් කාලෙ උදව් කළාට තමුසෙට ස්තුති කරන්න මට බැරි වුණා.”

“කොහෙද යන්නෙ?”

“මං යනවා උස කන්දක් මුදුනෙ උස පර්වතයක් හොයාගෙන.”

“ගිහින්?”

“මං හොට ගලක ගහලා, ගහලා ඒක ගලවාගන්නවා.”

මට හිනා යන්නත් ආවා. මූ හොඳට අර කතාවට ඇඳලා.

“ඊට පස්සෙ?”

“හොට ලියලනකල් ඉන්නවා.”

රාජාලියන්ගෙ හොටවල් හූනන්ගෙ ගැලවුණු වලිග වගෙ ලියලනවද කියලා ඉන්ටනෙට් එකෙන් සර්ච් කරලා බලන්න ඕනැ කියලා මං හිතුවා.

“හොට ලියලුවායින් පස්සෙ?”

“ඊට පස්සෙ මං නිය ටිකත් ගලවනවා.”

“ඉතින් ඒක ඇයි මුලින් කළේ නැත්තෙ?”

“මුලින් කළේ නැත්තෙ හොට හයිය නැති නිසා.”

“ඊට පස්සෙ?”

“පිහාටු ටිකත් ඔක්කොම ගලවනවා.”

“ඒක මුලින් කළා නම් ඒ වෙනකොට පිහාටු ඇදිලනෙ.”

“මුලින් කළේ නැත්තෙ හොට හයිය නැති නිසා.”

“නැහැ.” මං කිව්වා.

“නැහැ කියලා තමුසෙ කියන්නෙ කොහොමද?”

“පිහාටු ගලවන්න බැරි තරම් තමුසෙගෙ හොට දුර්වල නැහැ. මොකද ඕක බටර්වලින් හදපු එකක් නෙමෙයිනෙ. අනෙක පිහාටු ගලවන එක නියපොතු ගලවනවා තරම් අමාරු නැහැ. මං කියන්නෙ බොරු නම් අහනවා පොලිසියෙන්. තමුසෙ ඒක මුලින්ම කළේ නැත්තෙ ඇයි කියල මං කියන්නම්.”

“හා, කියනවා බලන්න.”

“කතාවෙ තිබුණෙ එහෙම නිසා.”

රාජාලියා අනෙක් පැත්ත හැරුණෙ හරියට පුක තමයි කියන්නා වගේ.

“ඉතුරු ටිකත් කියනවා. තමුසෙ ඔය විදියට දවස් 150ක් ගත කරලා අලුත් වෙලා තව අවුරුදු 30ක් ඉන්නවා.”

“ඔය දන්නෙ.” රාජාලියා කිව්වා.

“තව අවුරුදු 30ක් ඉන්නවා නම් ඇයි තමුසෙ මාව බලන්න එන්නෙ නැත්තෙ?”

“මං පටන් ගන්නෙ අලුත් ජීවිතයක් හලෝ,” යි කියපු රාජාලියා ජනෙල් කවුළුවෙන් පැනලා බසබසගාලා තටු ගහමින් ඉගිලිලා ගියා. ඒ පරයා යන්නම ගියා.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *