debt restructuring

ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අතිශය සංකීර්ණ බව වාර්තාවලින් හෙළි වේ. ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ විසින් වචනයකින් හෝ සහයෝගය නොදක්වන මෙම ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය ඇමතිවරු, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, මහ බැංකු අධිපතිවරයා හා මහ බැංකුවේ නිලධාරීන් විශාල වෙහෙසක් දරමින් සිටින බව ද වාර්තා වේ.

චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ප්‍රධාන ණය දෙන්නන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ඵල දරා ඇත. ණය සහන කොන්දේසි විධිමත් කිරීමට මග පාදමින් අවබෝධතා ගිවිසුම් (MoUs) සහ ණය ගිවිසුම් කෙටුම්පත් කරමින් පවතී. මෙය මාර්තු මාසයේදී සමාලෝචනය කිරීමට නියමිත ඩොලර් බිලියන 2.9 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනේ මීළඟ වාරිකය සුරක්ෂිත කර ගැනීමේ ශ්‍රී ලංකාවේ කාලරාමුව සමඟ සමපාත වේ.

කඩිනමින් විසඳුමකට එළැඹීමට ඩොලර් බැඳුම්කර ඇති පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා ද සිදු වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයා ෆයිනෑන්ෂල් ටයිම්ස් සමග පැවසීය. කෙසේ වෙතත්,ඇතැම් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයක් විසින්, ශ්‍රී ලංකා රජයෙන් විනිවිද භාවයක් නොමැතිකම පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.

ශ්‍රී ලංකාව පෞද්ගලික ණය හිමියන් සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණයට අනුකූල වන අතර නිල ණය හිමියන්ට පිරිනමන කොන්දේසි ඒ සමග සැසඳිය හැකි බව සහතික කිරීමේ අභියෝගයට ශ්‍රී ලංකාව මුහුණ දෙයි. මෙම තුලනය කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් සාකච්ඡා සංකීර්ණ වී ඇති බව මහ බැංකු අධිපතිවරයා පිළිගනියි.

ඩොලර් මිලියන 250ක පැහැර හරින ලද බැඳුම්කර ණය වහා ආපසු ගෙවන ලෙස ඉල්ලා හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් ගොනු කරන ලද නඩුව දැනට අත්හිටුවා ඇති අතර, ප්‍රශ්නය දිග්ගැසී ගොස්, බැංකුවට පක්ෂව තීන්දුවක් ලැබුණහොත් වෙනත් ණය හිමියන් සමඟ සාකච්ඡා එමගින් සංකීර්ණ විය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ගිවිසුමේ කොටසක් ලෙස සිදු කරමින් තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමපාත වේ. බදු ඉහල දැමීම් සහ රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය ඇතුළු මෙම ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී යම් විරෝධයකට මුහුණ දෙනු ඇත.

අභියෝග මධ්‍යයේ වුවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මැතිවරණයට පෙර අවසන් කළ හැකි බවත්, රටට අවශ්‍ය ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, විය හැකි බාධා වළක්වා ගැනීමටත් හැකි වනු ඇතැයි ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා මහජන අවබෝධයේ තීරණාත්මක බව ද ඔහු අවධාරණය කළේය.