පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය
අජිත් පැරකුම් ජයසිංහ
බොහෝ බස් හිමියන් කරන්නේ බස් රිය කොන්දොස්තරවරයකුට කොන්ත්‍රාත් දීමයි. එම කොන්දොස්තරවරයා හා රියදුරා කටයුතු කරන්නේ දඩයමේ යන්නන් පරිදිය. හතර වටේට කෝල් කරමින් බස් එන හැටි අසමින් රියදුරා අධි වේගයෙන් අපරීක්ෂාකාරීව රිය පදවයි. අනතුරක් වළක්වා ගැනීමේ හැකියාව ඔවුන්ට නැත. රේස් යති. මාර්ග නීති නොතකති. පාර මැද්දේ නවත්තා සෙනග ගනිති. රණ්ඩු වෙති. තදින් බ්‍රේක් ගසති. හෝන් ගසති.
බසය තුළ විවිධ ලයිට්ය. සංගීත සංදර්ශනය. සයිලන්සරයට ද හෝන් සවි කර ඇත. රියදුරාට පාර නොපෙනෙන තරම් බුදු පිළිම, ඇත් දළ, මල් වට්ටි, දේව පිළිම, මල් වැල්, ටසල්, කොඩි, බෝනික්කන්, ප්ලාස්ටික් පලතුරු, ස්ටිකර් ආදිය ඉදිරි වීදුරුවල ඇත. හැම තැනම සුදු යකඩ පොලුය.
මේ බස් නිසා සෙසු රියදුරන්ගේ අවධානයට හා දෘෂ්ටියට බාධා සිදු වේ. ඒ ඒවායේ ඇති විවිධ ලයිට් වර්ග, රූප, හෝන් ආදිය නිසාය. කොහොමත් මේ බස් නිසා මගීන්ගේ මෙන්ම පාරේ යන වෙනත් වාහන හා පදිකයන්ගේ පමණක් නොව පාර දෙපස නිවෙස්වල වැසියන්ගේ ජීවිත ද අනතුරේය.
ඇතැම් කොන්දොස්තරලාගේ වැඩේ කොතරම් සෙනග හිටියත් සෙනග පීරාගෙන ඉස්සරහ සිට පස්සට නිතර ගමන් කිරීමයි. සිටගෙන සිටින පිරිස අතර කාන්තාවන් වැඩි නම් මෙසේ ගමන් කරන වාර ගණන වැඩි වීමට ද ඉඩ තිබේ. ඇතැමුන්ට මගීන් ඔවුන්ගේ නෑදෑයෝය. මල්ලි, නංගි, අයියා, අක්කා, මාමා, නැන්දා, ආච්චි, සීයා ආදී වශයෙනි.
ලංකාවේ බස් කර්මාන්තය යනු පෞද්ගලිකකරණය නොකළ යුතු ආකාරය පිළිබඳ උදාහරණයකි. බස් ජනසතුවට පෙර මෙරට ප්‍රබල බස් සමාගම් තිබිණි. කළ යුතුව තිබුණේ මාර්ග හෝ කලාප බස් සමාගම්වලට පැවරීමයි. එහෙත්, තනි බස් හිමියන්ට ද මාර්ග බලපත්‍ර ලබාදෙන ලදී. පසුව එය තනිකරම දේශපාලන හෙංචයියන්ට සලකන ක්‍රමයක් විය.
දැන් බස් කර්මාන්තය මැරවරයන්ට ගොස් ඇත. රූට් පර්මිට් යනු ද්විතීය වෙළඳපොළේ ඉහළ මිලට අලෙවි වන බැඳුම්කර වැනි ජාතියකි. රූට් පර්මිට් විවිධාකාරයෙන් එකතු කර ගනිමින් බස් හිමියන් පුළුල් වෙමින් සිටිති. කෙසේ වෙතත්, ඇත්තේ මාරාන්තික තරගයකි.
ලංගම පැවැත්ම යම් දුරකට මෙම වෙළඳපොළ නියාමනයට ඉවහල් වන මුත්, ලංගම රියදුරන් හා කොන්දොස්තරලා ද පවත්නා බස් කර්මාන්තයේම කොටස්කරුවන් බවට විවිධාකාරයෙන් පත් වී ඇත. එම නිසා ලංගමෙන් ද මගීන්ට විශේෂ සහනයක් නැත.
මේ නිසා හැකි තරම් මගීහු බස්වලින් ඈත් වෙන්නට උත්සාහ කරති. ආර්ථික අර්බුදය නිසා එය දුෂ්කර වී තිබේ. බස් නිසා වැඩ කරන මිනිසුන්ගේ දවස කාලකණ්ණි වේ. මූසල වේ. බස්වල යන එන මිනිසුන් සමාජයට වෛර කිරීම පුදුම විය යුතු දෙයක් නොවේ.
බස් කර්මාන්තය වෙනුවෙන් රජයේත්, සිවිල් සමාජයේත් ප්‍රබල මැදිහත් වීමක් අවශ්‍යය.
බස් කර්මාන්තයේ තත්වය දේශපාලන නායකයන්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නායකයන් තබා විප්ලවවාදී නායකයන්වත් කිසිවෙක් හරියට දන්නේ නැත. හේතුව, ඔවුන් බස්වල යන අය නොවීමයි.
බස් කර්මාන්තය ලංකාවේ පවතින වෙළඳපොළ අරාජිකත්වයේ සංකේතයකි. බස් සම්බන්ධ නියාමනයක් බස් නැවතුම්පළවල ඇත. එය ද මැරවර පාලනයකි. මහ මග නියාමනයක් නැත. මෙතරම් නීතියට ගරු නොකරන සමාජයක පොලිසියට කළ හැකි දේ අවමය. පොලිසියත් ඒ සමාජයේම කොටසකි.
මෙය හදන්නට හැකි ආකාරය පිළිබඳ විවිධ විද්වත් යෝජනා තිබේ. මාර්ගවල ධාවනය වන ලංගම හා පෞද්ගලික බස් සමාගම් තුළ එක් කර, එක නියාමනයකට යටත් කර, කාලසටහනකට අනුව, ආදායම් බෙදී යන ක්‍රමයක් සැකසීම මහ ලොකු වැඩක් නොවේ. එහෙත්, කිසිවකු ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. හේතුව, බලපෑම් කළ හැකි අය බස්වල නොයෑමයි.
මා යන්නේ බස්වලය. පොදු ප්‍රවාහනය භාවිතා නොකර එය වෙනස් කළ නොහැකිය. මිනිසුන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු නොකර සමාජය වෙනස් කළ නොහැකිය. පොදු ප්‍රවාහනය භාවිතා කළ හැකි අන්දමේ එකක් බවට පත් කිරීම දැවැන්ත සමාජ පරිවර්තනයක් වනු ඇත. ආත්මාර්ථකාමීව තනිව මෝටර් රියක් වෙනුවෙන් කාබන් දහනය කරන මිනිසුන් වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිසුන් සිටින රටක් අපට අවශ්‍යය.
සමාජවාදය ජීවන විලාසයකි.
(ඡායාරූපය: කාවින්ද රණවීර)