ව්‍යාජ ප්‍රවෘත්ති හා උපහාසය
අජිත් පැරකුම් ජයසිංහ
මේ සටහන තබන්නේ විශේෂ හේතුවක් එක්ක. මා ව්‍යාජ පුවත්වලට එරෙහිව ලියන කෙනෙක්. හැබැයි, ඒ ගමන් ම මා දේශපාලන උපහාසය සඳහාත් අන්තර්ගතයන් නිර්මාණය කරන කෙනෙක්. මේ දෙකේ වෙනස තෝරාගන්නට තරම් අපේ සමාජයේ ඇතැමුන්ගේ මාධ්‍ය හා දේශපාලන සාක්ෂරතාව ප්‍රමාණවත් නැහැ.
කොවිඩ්-19 කාලෙ නිවැරදි හා නිවැරදි නොවන දෙයාකාරයේම තොරතුරුවල ක්ෂණික වර්ධනයක් සිදු වුණා. ඇතැම් අවස්ථාවලදී භයානක පණිවුඩ පවා සංසරණය වුණා. දැනුත් එය සිදුවෙනවා.
මෙය අපට ලැබෙන තොරතුරුවල ගුණාත්මකභාවයට, ඒවායේ විශ්සනීයත්වයට බලපානවා. එමගින්, විශ්වාසදායක හා කාලෝචිත තොරතුරු ලබාගන්නට මහජනතාවට තිබෙන අයිතියටත් බලපෑම් සිදුවෙනවා. එමගින් පුද්ගලයින්ව ව්‍යාකූලත්වයට පත් කරනවා. වැරදි තොරතුරු නිසා සෞඛ්‍ය ප්‍රතිචාරවලටත් බාධා ඇති වෙනවා.
හැබැයි මේ සියල්ල මැද පුද්ගලයන්ට නිදහස් අදහස්, මතවාද දරන්නටත්, ඒවා ප්‍රකාශ කරන්නටත් අයිතියක් තිබෙනවා. මතවාද කියන්නෙ ප්‍රවෘත්ති නෙමෙයි. හැබැයි, ප්‍රවෘත්තියක් මැද්දෙ කෙනෙකුගේ මතවාදයක් තිබෙන්නට පුළුවන්.
ව්‍යාජ ප්‍රවෘත්ති යනු කුමක්ද?
ව්‍යාජ ප්‍රවෘත්ති ආකාර තුනකට විග්‍රහ කෙරෙනවා: දුස්තොරතුරු, වැරදි තොරතුරු සහ දුෂ්ට තොරතුරු
- දුස්තොරතුරු කියන්නෙ පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට, සංවිධානයකට හෝ රටකට හිතාමතාම පීඩා ඇතිකරන සහ වැරදි තොරතුරුවලටයි.
- වැරදි තොරතුරු අසත්‍යයි. එහෙත්, ඒවා හානියක් කිරීමේ අදහසින් නිර්මාණය කරන ලද තොරතුරු නොවේ. ඇත්ත වැරදීම් විය හැකියි.
- දුෂ්ට තොරතුරු හෝ ප්‍රචාරණය කියන්නේ ඇත්ත වගේ පෙනෙන, එහෙත්, වෙනත් කෙනෙකුට හානියක් කිරීමට භාවිතා කරන තොරතුරුවලටයි.
මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්.
රැවටීම අරමුණු කරගත් හසුරුවන ලද අන්තර්ගතයන් (manipulated content) හා උපහාස නිර්මාණ අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. මේ වෙනස තේරුම් ගන්නට හැකි තරමට අප අපගේ මාධ්‍ය සාක්ෂරතාව සංවර්ධනය කරගත යුතුයි.
උපහාස නිර්මාණවලට වෛරී ප්‍රතිචාර දැක්වීම මුග්ධ ක්‍රියාවක්. හැබැයි, මෝඩකමටත් නිදහසක් තිබිය යුතුයි. වෛරී ප්‍රතිචාර තමන්ගේ හැඟීම් විමෝචනයෙන් එහාට ගෙනියන්න එපා.
රූපයේ දැක්වෙන්නේ 2019 ජනාධිපතිවරණයට පෙර මා ඇන්ද කාටුනයක්.