චන්ද්‍රිකා අභ්‍යවකාශගත කළ රෝහිත රාජපක්ෂගේ ආශාවේ ගීතය පද හා දේශපාලනය
අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ යනු 2012 නොවැම්බරයේදී, ඔහුගේ පියා ජනාධිපති තනතුර හොබවද්දී, සුප්‍රීම් සැට්-1 නම් ශ්‍රී ලාංකික චන්ද්‍රිකාවක් චීනය සමග එක්ව අභ්‍යවකාශගත කළ බවට දැවැන්ත ප්‍රචාරයක් දුන් කෙනෙකි. එම චන්ද්‍රිකාව කුමක්ද, එයට කුමක් වීද යන්න තවමත් අභිරහසකි. කෙසේ වෙතත්, එදා එම අභ්‍යවකාශ යානය හැඳින්වුණේ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව බවයි. පහත දැක්වෙන්නේ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකි.
කෙසේ වෙතත්, ඒ පිළිබඳ මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ද රෝහිත රාජපක්ෂ සමග දෙරණ රූපවාහිනිය විසින් පවත්වන ලදී.
කලින් කලට විවිධ චරිත සමග මතුවන මෙම රාජපක්ෂ පුත්‍රයා ගායකයකු ද වේ. පහත දැක්වෙන්නේ ඔහු විසින් නිකුත් කරන ලද අලුත් ගීතය වන ආශාවේ ගීතයේ පදමාලාවයි. ගීතයේ වීඩියෝව ඉන්පසු.
තණ්හාවෙන් මත්වෙන්නේ
මායාවේ පැටලී පැටලී
මනුදම් ගුණ නොතකන්නේ
සිත විඳවන්නේ
පෙර ආ කර්මේ
ලද පමණින් සැනසෙන්නේ
ආශාවේ රැහැනින් මිදිලා
ලෝදම් නිති සුරකින්නේ
අප ගෙන යන්නේ
කරනා හොඳ වේ
මෙලොව එළිය දකින හැම බිළිඳම
මව් සෙනෙහස පතනව දිවි පුරාම
වැටහෙනකොට ටික ටික නැතිවෙන බව
මායාවක හිත පැටලෙයි දැන දැන
බැඳුණත් කෙතරම් මව් උණුහුමකට
ලෞකික ලොව තුළ අස්ථිරයිද එය
නිලතල ධනය බලය හට කිසිදින
වළකනු නොහැකී ලෝකේ ස්වභාවය
මොහොතක් නැවතී සිතන්න ඉදිරිය
අප වටකර ඇති ආශා සියල්ල
ක්ෂණයක් ඇතිනම් විනාශෙ දකින්න
තණ්හා සිතමයි මුලාවෙන්නෙ හෙට
සිනහව කෙතරම් අරුමයක්ද ලොව?
එයටත් මෙතරම් මැලිකම් කුමටද?
සිංහල, ද්‍රවිඩ, කිතුනු, මුස්ලිම් හට
වෙනසක් නැති අස්ථිර මේ ලෝකය
සුන්දර ලෝකයෙ ලස්සන විඳින්න
කාටද පුළුවන් සත්‍යම දකින්න
කෙනෙකුගෙ ජයහට සුබ පතන්න
පුළුවන් හදකුයි උතුම්ම මිහිපිට
ආගමකටවත් හීලෑ නැතිනම්
සිතන්න බැරි හණමිටියෝ වගෙ නම්
මාස දවස් සති අවුරුදු ගෙවුණත්
කර්මය ඵලදෙන බව නම් සත්‍යක්
ජාතිය ආගම පැත්තක තියපන්
අපිටම අපි ගැන හිතන්න බැරිනම්
කෙනෙක් මරා කුසගින්න නිවේ නම්
මරණින් පසු හරි විපාක දෙයි බං
වටහාගත යුතු සත්‍ය මෙයයි බං
කවදා කොතැනක සැඟවී සිටියත්
විපාක දියයුතු කාලය හරිනම්
කර්මය නිසැකම දෙනවලු පඩිසන්
මෙම ගීතය ගැන අදහස් දැක්වීමක් කරන වංගීස සුමනසේකර මෙසේ පවසයි: “ජිජැක් යෝජනා කරන ලෙසට දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට මෙය ඉතාම හොඳ ආකෘතියකි. එය ක්‍රියාත්මක වීම සඳහා එය ‘සැබැවින්ම සිදු කිරීම’ අවශ්‍ය නොවේ. නිදර්ශනයක් ලෙස රෝහිත රාජපක්ෂ සැබැවින්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන, ධනය බලය පසුපස නොයන කෙනෙක් විය යුතු නොවේ. ඒ වෙනුවට ඔහු කළ යුත්තේ ඔහු එසේ වන බව කියා සිටීම පමණි. ඒ සමගම ඔහුට ඉතා පහසුවෙන් එහි පරිපූර්ණ ප්‍රතිපක්ෂය කළ හැකිය. නමුත් අවසානයේ දී ඔහුට එසේ නොකර අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා යන සැහැල්ලුව ද ලැබිය හැකිය.”
මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය.
මේ පිළිබඳ දර්ශනවාදියකු වන වංගීස සුමනසේකර පවසන අදහස ඉතා වැදගත්ය. “මෙහි අන්තර්ගතය සහ ආකෘතිය අතර අති විශාල පරතරයක් ඇති බව පැහැදිළි වේ. එම නිසාම මේ ගීතයේ අන්තර්ගත අදහස් වෙත කිසියම් දුරස්ථ බවක් එහි නිර්මාපකයන් හට තිබෙනවා කියා උපකල්පනය කිරීම අසාධාරණ නොවේ. තරමක් සරල අර්ථයකින් කියන්නේ නම් ඔවුන් උනන්දු වන්නේ ‘හිප් හොප් සිංහල බෞද්ධ සමාජයක්’ සිතීමටයි. එම සමාජය තිබිය යුත්තේ ‘හිප්හොප් ආකෘතියකට’ වුවත් එහි අන්තර්ගතය ‘සිංහල බෞද්ධ’ විය යුතුය. මෙය සාර්ථක වන්නේ ද? නලින් ද සිල්වා සිහින මැවූ, චෛත්‍යයක් අපට සිතට නංවන සංගීතයක් වෙනුවට ඇමරිකානු කළු ජාතික මත්ද්‍රව්‍ය වෙළෙන්දන් පරිකල්පනය කිරීමට උපකාර කරන සංගීතයකින් අපට සිංහල බෞද්ධ සමාජයක් සෑදිය හැකිද?”
වංගීස සුමනසේකරගේ සම්පූර්ණ සටහන මෙසේය:
සිංහල බෞද්ධ හිප්හොප් රාජ්‍යය
මෙම සටහනේ අවසානයේ උපුටා දක්වා තිබෙන්නේ රෝහිත රාජපක්ෂ ගේ නවතම ගීතය වන ‘ආශාවේ’ ගීතයේ තෝරා ගත් කොටස් කීපයකි. මෙය කියවන විට අපගේ හිතවතුන් බොහෝ දෙනෙකුට සිනහ පහළ වනවා කියා සිතා ගැනීම අපහසු නොවේ. නමුත් මට සිතෙනා ආකාරයට වැදගත් ප්‍රශ්නය වන්නේ මෙය නොවේ. මේ තිබෙන දේවල් සහ රාජපක්ෂ දේශපාලනය පෙනී සිටින දේවල් පරස්පර බව ඕනෑම කුඩා දරුවෙකුට වුවත් පැහැදිළි වෙයි. නමුත් තතු මෙසේනම් අප මෙහිදී ඇසිය යුතු සිත්ගන්නා සුළු ප්‍රශ්නය වන්නේ මෙයයි: රෝහිත රාජපක්ෂ මෙය සැබැවින්ම විශ්වාස කරනවාද? දෘෂ්ඨිවාදය ගැන ජිජැක් ගේ සෞත්‍රික විශ්ලේෂණ වලින් අපට ප්‍රයෝජනයක් ගැනීමට මෙය අවස්ථාවකි.
පළමුවෙන් පැහැදිළි වන්නේ මෙම ගීතය මගින් යෝජනා කරන අල්පේච්ඡ ජීවිතය, ආශාවන් මැඩලීම, ආගමික වීම ආදී අදහස් සහ මෙම ගීතය ඉදිරිපත් කරන ආකෘතිය අතර ඇති පරතරයයි. මෙහි තිබෙන්නේ ඇමරිකානු හිප්හොප් ගීතයක සහ වීඩියෝවක – අතිශය අසාර්ථක – අනුකරණයකි. එම නිසා මෙහි තිබෙන්නේ ‘සසර වසන තුරු – නිවන් දකින තුරු’ වැනි ගීතයක් නොවේ. මෙමගින් සිංහල බෞද්ධයන්ගේ අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරන්නේ නැත. නලින් ද සිල්වා වරක් වෙසක් බැති ගී සංගීතය ගැන කියා සිටියේ එය අපට සිහිපත් කරන්නේ ‘චෛත්‍යයක රූපයක්’ බවයි – එය අසා සිටින විට අපට සිතට නැගෙන්නේ පන්සලක සිටීමේ සැහැල්ලුවයි. දැන්, රෝහිත රාජපක්ෂ ගේ ගීතයේ තිබෙන්නේ මෙහි පරිපූර්ණ ප්‍රතිපක්ෂය කියා තේරුම් ගැනීම අපහසු නැත. මෙය අසන විට අපට සිහියට නැගෙන්නේ ඇමරිකානු හිප්හොප් වීඩියෝවක දසුනකි – අඳුරු රාත්‍රී සමාජ ශාලාවක්, කොටට ඇඳ සිටින තරුණියන්, ලොකු රත්තරන් මාල දමා ගත් මිනිසුන්, තුවක්කු…
එනිසා මෙහි අන්තර්ගතය සහ ආකෘතිය අතර අති විශාල පරතරයක් ඇති බව පැහැදිළි වේ. එම නිසාම මේ ගීතයේ අන්තර්ගත අදහස් වෙත කිසියම් දුරස්ථ බවක් එහි නිර්මාපකයන් හට තිබෙනවා කියා උපකල්පනය කිරීම අසාධාරණ නොවේ. තරමක් සරල අර්ථයකින් කියන්නේ නම් ඔවුන් උනන්දු වන්නේ ‘හිප් හොප් සිංහල බෞද්ධ සමාජයක්’ සිතීමටයි. එම සමාජය තිබිය යුත්තේ ‘හිප්හොප් ආකෘතියකට’ වුවත් එහි අන්තර්ගතය ‘සිංහල බෞද්ධ’ විය යුතුය. මෙය සාර්ථක වන්නේ ද? නලින් ද සිල්වා සිහින මැවූ, චෛත්‍යයක් අපට සිතට නංවන සංගීතයක් වෙනුවට ඇමරිකානු කළු ජාතික මත්ද්‍රව්‍ය වෙළෙන්දන් පරිකල්පනය කිරීමට උපකාර කරන සංගීතයකින් අපට සිංහල බෞද්ධ සමාජයක් සෑදිය හැකිද?
දෘෂ්ඨිවාදය සම්බන්ධයෙන් ජිජැක් ගේ සුප්‍රකට විශ්ලේෂණයෙන් යමක් ගත යුත්තේ මෙතැනදී ය. ජිජැක් අපට පෙන්වා දී ඇති ආකාරයට දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වීම සඳහා අප එය සැබැවින්ම විශ්වාස කිරීම අනිවාර්ය නොවේ. ඔහුගේ ප්‍රකට නිදර්ශනයක් සහ උපමාවක් කියන්නේ නම්, නැවතත් ඇමරිකානු ජනප්‍රිය ටෙලි නාට්‍ය වල එන, පටිගත කරන සිනහව මෙහිදී අපට සලකා බැලිය හැකිය. එම සිනහව ටෙලි නාට්‍යයේ කොටසක් ලෙස ඇතුලත් කිරීමේ නිල අරමුණ වන්නේ එමගින් අප සිනහ සීමට පෙළඹීම යන්නයි. නමුත් ප්‍රයෝගිකව මෙය සිදු වන අවස්ථාවන් විරල බව මෙය අත්දැක ඕනෑම කෙනෙක් පිළිගනු ඇත. ඒ වෙනුවට මෙමගින් බොහෝ විට සිදු වන්නේ සිනහ සීමේ වගකීම ද ටෙලිවිෂනය විසින්ම බාර ගැනීමයි. අප සැබැවින්ම සිනහ සිය යුතු නැත – අප කළ යුත්තේ ටෙලිවිෂනය ඉදිරියේ අසුන් ගෙන සිටීම පමණි. අප වෙනුවෙන් ටෙලිවිෂනය සිනහ සෙයි. නමුත් මෙහි අවසානයේ දී කිසියම් සුව කිරීමක් ද තිබේ. වෙහෙසකර දිනක් අවසානයේ මෙවැනි වැඩසටහනක් නැරඹු විට සිතට යම් සැහැල්ලුවක් එයි. මෙමගින් ජිජැක් පෙන්වා දෙන්නේ සිනහ සීමෙන් ඇති වන සැහැල්ලුව අත්පත් කර ගැනීම සඳහා සිනහ සීමා සැබැවින්ම සිදු කිරීම අනිවාර්ය නොවනවා යන්නයි.
ජිජැක් යෝජනා කරන ලෙසට දෘෂ්ඨිවාදය ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට මෙය ඉතාම හොඳ ආකෘතියකි. එය ක්‍රියාත්මක වීම සඳහා එය ‘සැබැවින්ම සිදු කිරීම’ අවශ්‍ය නොවේ. නිදර්ශනයක් ලෙස රෝහිත රාජපක්ෂ සැබැවින්ම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන, ධනය බලය පසුපස නොයන කෙනෙක් විය යුතු නොවේ. ඒ වෙනුවට ඔහු කළ යුත්තේ ඔහු එසේ වන බව කියා සිටීම පමණි. ඒ සමගම ඔහුට ඉතා පහසුවෙන් එහි පරිපූර්ණ ප්‍රතිපක්ෂය කළ හැකිය. නමුත් අවසානයේ දී ඔහුට එසේ නොකර අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා යන සැහැල්ලුව ද ලැබිය හැකිය.
මෙම නිශ්චිත අර්ථයෙන් ගත්විට මේ තිබෙන්නේ රාජපක්ෂවාදයේ පිරිසිදු ප්‍රකාශනය නොවේද? එමගින් අපව රැගෙන යන්නේ බල්ලෝ මරල හරි කන්න හොයන පූර්ණ විකසිත ධනේශ්වර සංස්කෘතියක් වෙතයි. නමුත් එය ක්‍රියාත්මක විය හැක්කේ එය සිංහල බෞද්ධ රාජ්‍යය ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පමණි. අපට එය ‘හිප්හොප් සිංහල බෞද්ධ රාජ්‍යය’ ලෙස නම් කළ හැකිය. රෝහිත රාජපක්ෂ ඒ සඳහා අපට ඉස්තරම් නිදර්ශනයක් ලබා දී තිබේ.
රෝහිත රාජපක්ෂ ගැන තවත් ලිපි:
රෝහිත – තත්‍යානා විවාහය හා රාජපක්ෂවරුන්ගේ බහු සංස්කෘතිකත්වය
කවුද මේ රෝහිත රාජපක්ෂ බැන්ද තත්‍යානා ලී ජයරත්න